Home Science News කාන්දුවක් නිසා සෝයූස් කැප්සියුලය මිනිසුන් රහිත ව පොළොවට

කාන්දුවක් නිසා සෝයූස් කැප්සියුලය මිනිසුන් රහිත ව පොළොවට

by Sathya

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග ඈඳී තිබෙන MS-22 සෝයූස් කැප්සියුලය පසුගිය දෙසැම්බර් 14 දා අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නා. එහි සිසිලක (coolant) පිටත අභ්‍යවකාශයට කාන්දු වුණා.  

රුසියානු අභ්‍යවකාශ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන Roscosmosහි සර්ගෙයි ක්‍රිකලෙෆ් (Sergei Krikalev), අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් සංවිධානය කළ මාධ්‍ය පැහැදිලි කිරීමක දී සඳහන් කළේ මෙයින් සිදු වූ හානිය තවමත් ගණනය කෙරෙමින් පවතින බවයි.

Thermal analysis හෙවත් උෂ්ණත්ව විශ්ලේෂණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ MS-22 සෝයූස් කැප්සියුලය ගගනගාමීන් රැගෙන යාමට නුසුදුසු අඩියකට වැටී ඇති බවයි.

බොහෝ විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් රැගෙන යන්නේත් යළි පෘථිවිය මතට රැගෙන එන්නේත් රුසියාව සතු සෝයූස් කැප්සියුල මගින්. නමුත් SpaceX සමාගමේ Crew Dragon කැප්සියුලයේ ආගමනයත් සමග මේ කැප්සියුල වර්ග දෙක ම වරින් වර යොදාගැනෙනවා. මේ වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මිනිසුන් 7 දෙනෙකු වාසය කරනවා. අමෙරිකානුවන් වන Josh Casseda, Nicole Mann, ජපානයේ Koichi Wakata සහ රුසියානු විශ්වගාමීනී Anna Kikina එහි පැමිණියේ ඉකුත් සැප්තැම්බර් මාසයේ එහි ළඟා වූ SpaceX Crew Dragon කැප්සියුලයෙන්. දැන් අනතුරට මුහුණ පා තිබෙන කැප්සියුලය එහි පැමිණියේ ඉකුත් ඔක්තෝබර් මාසයේ දී යි. රුසියානු විශ්වගාමීන් වන Dimitry Petelin, Sergei Prokopyev සහ NASA ගගනගාමී Frank Rubio ඉන් පැමිණියා. එතැන් සිට මේ දක්වා ම කැප්සියුල ද්විත්වය ISS හා ඈඳී සිටියත් මේ සිදු වීමත් සමග හදිසි අවස්ථාවක දී ඉන් පිට වීම සඳහා දැනට ඉතිරි වී ඇත්තේ SpaceX Crew Dragon පමණයි. 

සිසිලක ඉහිරී ගිය සෝයූස් කැප්සියුලය ගගනගාමීන් රහිත ව යළි පෘථිවිය වෙතට ගෙන්වා ගැනීමෙන් අනතුරු ව ලබන වසරේ පෙබරවාරියේ දී දෙවන සෝයූස් කැප්සියුලයක් එහි යැවීමට කටයුතු සැකසෙමින් පවතින බව වාර්තා වනවා.

සිසිලක මෙසේ පිටතට විසිරී යාමට නිශ්චිත හේතුවක් තව ම නිරාවරණය වී නැහැ. කෙසේ නමුත් වාර්ෂික ව හටගන්නා ගැනිමිඩ් උල්කාපාත වර්ෂාව මීට වගකිව යුතු යැයි පැවසිය නො හැක්කේ කැප්සියුලය හානි වී ඇත්තේ වෙනත් පැත්තකට වන්නට නිසයි. මෙය ක්ෂුද්‍රඋල්කා මගින් හටගත් යමක් ද, ⁣නැති නම් අභ්‍යවකාශ සුන්බුන් හේතුවෙන් සිදු වූවක් ද යන්න නිරාවරණය කරගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු ව තිබෙනවා.

Science Alert ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications