ලෝකඩයෙන් නිර්මිත වසර 3000කට එහා ඉතිහාසයකට උරුමකම් කියන අසිපතක් කැණීමකින් මතු කරගැනුණු බව ජර්මානු බලධාරීන් සඳහන් කරනවා. එය ඉතා ම ප්‍රශස්ත මට්ටමින් සංරක්ෂණය වී පැවත ඇති අතර තවමත් එහි ඇති දිස්නය දෙන ස්වභාවය පහ ව ගොස් නොමැති වීම විශේෂත්වයක්.
පෞරාණික ස්මාරකයන් සංරක්ෂණය පිළිබඳ බාවේරියානු කාර්යාලය (The Bavarian state office for the preservation of historical monuments – BLfD) සඳහන් කර ඇති පරිදි එහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 14 වැනි සියවසේ අවසාන භාගය තෙක් ඈතට ඇදී යනවා. එය හමු වී තිබෙන්නේ පසුගිය සතියේ දී Nördlingen නමැති ජර්මානු නගරයයේ කළ පුරාවිද්‍යාත්මක කැණීමක් අතරතුරයි.
අෂ්ටාස්‍රාකාර ලෙස නිර්මිත කගමිටකින් සමන්විත වන මෙය හමු වී තිබෙන්නේ සොහොන් වළකින්. එහි තිබී පුරුෂයෙකුගේ, කාන්තාවකගේ සහ කුඩා දරුවෙකුගේ ඇටසැකිලි ද හමු වී තිබෙනවා. ඔවුන් සමඟ වළ දා තිබූ ලෝකඩයෙන් නිර්මිත තවත් දෑ කිහිපයක් ද සොයාගත් බවයි BLfD නිවේදනය කර තිබුණේ. ඒ අතර ඊ හිස් ගණනාවක් ද තිබෙන බව පෙනී යනවා. BLfD සඳහන් කරන්නේ එහි වළ දා ඇති පුද්ගලයන් ඤාතීන් ද යන වග පැහැදිලි නොමැති බවයි.
BLfD හි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන මහාචාර්ය Mathias Pfeil සඳහන් කරන්නේ සොහොන් ගැබ සහ අසිපත පිළිබඳ වඩා නිරවද්‍ය වූ පැහැදිලි කිරීමක් සඳහා ගැඹුරු අධ්‍යයනයක නිරත විය යුතු බවයි. ‘අපේ පුරාවිද්‍යාඥයන්ට වඩාත් නිවැරැදි ලෙස වර්ගීකරණය කළ හැකි පරිදි කඩුව සහ සොහොන් ගැබ තවදුරටත් අධ්‍යයනයට භාජනය විය යුතුව තිබෙනවා. නමුත් අපට දැනටමත් කියන්න පුළුවන්, මෙලෙස සංරක්ෂණය වී පැවතීම අසාමාන්‍ය බව. මේ ආකාරයේ සොයාගැනීමක් අතිශය දුර්ලභයි.’
එකී යුගයේ භාවිතයට ගැනුණු අසිපත් සොයාගැනීම අපහසු බවත්, 19 වැනි සියවසේ හෙළි කරගත් සුසාන භූමිවලින් මින් පෙර අවස්ථා කිහිපයක දී ඒවා හමු වී ඇති බවත් BLfD සඳහන් කරනවා.
Associated Press ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්