Apple සමාගම නිවේදනය කර ඇති පරිදි ඔවුන් OpenAI සමඟ ඒකාබද්ධ වීමක් සිදු කළහොත් තමාට අයත් සියලු ම සමාගම් පරිශ්‍ර තුළ Apple නිෂ්පාදන භාවිත කිරීම හෝ රැගෙන ඒම තහනම් කරන්නට සිදු වන බව ඊලෝන් මස්ක් සඳහන් කරනවා. ඔහු එයට හේතුව ලෙස සඳහන් කරන්නේ ඉන් පරිශීලක දත්ත තවදුරටත් ආරක්ෂිත නො වන අඩියකට වැටීමයි.
පසුගිය සඳුදා සිය වාර්ෂික Worldwide Developer’s Conference සම්මන්ත්‍රණය පැවැත්වූ Apple සමාගම නිවේදනය කළේ Apple නිෂ්පාදනවල එන Siri සහායක පද්ධතිය වඩාත් බලගැන්වෙන පරිදි OpenAI හි ChatGPT සමඟ ඈඳීමට කටයුතු කරන බවයි.
මෙහි දී ප්‍රදර්ශනය වූ එක් උදාහරණයකින් දැක්වුණේ රාත්‍රී ආහාර වේලක් සඳහා සුදුසු කෑම වට්ටෝරුවක් සඳහා ChatGPT ගෙන් උපදෙස් ලබාගන්නා ලෙස Siri පවසන අවස්ථවක්. මෙහි දී ChatGPT වෙතින් ලැබෙන පිළිතුරු ඒ බව හඳුනාගත හැකි පරිදි සලකුණු කර දැක්වුණා.
සමාගම් දෙක අතර සහයෝගීත්වයට ප්‍රතිචාර වශයෙන් X සටහනක් තැබූ මස්ක් සඳහන් කර තිබුණේ තමන්ගේ සමාගම් පරිශ්‍ර වෙත පැමිණෙන සේවකයන් සහ අමුත්තන් හට දොරටුව අසල දී Apple උපාංග තබා යන්නට සිදු වනු ඇති බවයි. ඔහුට අනුව එහි දී එම උපාංග විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයන් අඩපණ කරන ‘ෆැරඩේ කුටීරයක’ තැම්පත් කෙරෙනු ඇති.
Siri වෙත ආරෝපණය වනු ඇත්තේ ChatGPTහි නවතම සංස්කරණය වන GPT 4 යි. මස්ක් මේ සහයෝගීතාව විවේචනය කරමින් X සටහනක් තබන්නට පෙර Apple සමාගම නිවේදනය කර තිබුණේ OpenAI වෙබ් අඩවිය ඔස්සේ ChatGPT වෙත ප්‍රවේශ වන විට දී මෙන් Siri ඔස්සේ ප්‍රවේශ වීමක දී පරිශීලක දත්ත එකතු කිරීමක් හෝ ගබඩා කර තබා ගැනීමක් සිදු නො වන බවයි.
Daily Mail ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්