කඳුකර ප්‍රදේශ ආශ්‍රිත ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා සේවය සපයමින් සිටිය දී අඳ භාවයට පත් වූ සුනඛයෙක්, ජානමය වශයෙන් සුනඛයන්ට වැළඳෙන අඳ භාවය ඇති කරන රෝගයක් වැළඳී තිබේ දැ යි දැනගැනීම සඳහා නව පරීක්ෂණයක් ගොඩනැඟීමට විද්‍යාඥයන් හට සහාය වී තිබෙනවා. මේ පරීක්ෂණයට පින් සිදු වන්නට රෝගය මුලිනුපුටා දැමීමට වුව ද හැකි බව විශ්වාසයයි.
ඉංග්ලිෂ් ශෙපර්ඩ් වර්ගයට අයත් ශෝලා (Shola) නම් මේ සුනඛයාට වැළඳී තිබුණේ ජානමය වශයෙන් පැවත එන Progressive Retinal Atrophy (PRA) තත්ත්වයයි. ඉන් ඇසේ ඇති ආලෝක සංවේදී සෛල ක්‍රමයෙන් පිරිහීමට පත් වන අතර අවසානයේ දී අඳ භාවය දක්වා දුර දිග යනවා.
සුනඛ අභිජනන වර්ග 100ක් පමණ PRA රෝග තත්ත්වය නිසා බැට ගමින් සිටිනවා. ජානමය විකෘතීන් කිහිපයක් ම මේ සඳහා බලපාන බව සොයාගෙන ඇති නමුත් ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නැහැ. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඇතැම් ජානමය විකෘතීන් ඇති කරන PRA තත්ත්වයන්වල දී සුනඛයා වසර ගණනක් දක්වා වැඩෙන තුරු ම රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන්නේ නැහැ. ඒ වන විට ඔවුන් තවත් ජනිත ප්‍රජාවක් බිහි කර තිබෙන්නට ද ඉඩ තිබෙනවා.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලද මේ අධ්‍යයනයේ ප්‍රධාන කතුවර Katherine Stanbury පවසන පරිදි ශෝලා රෝග ලක්ෂණ පෙන්නුම් කරීම අරඹා ඇත්තේ වයස අවුරුදු හතරේ දීයි. අඩු ආලෝක තත්ත්වය යටතේ ශෝලාගේ පෙනීම අඩු බව පෙනී ගොස් තිබුණා.
“ඇය පශුවෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ පසු PRA තිබෙන බව තහවුරු කෙරුණා. ඇගේ සහෝදරයාටත් එය ම වැළඳී තිබෙන බව පසු ව හෙළි වුණා.” Stanbury සඳහන් කරනවා.
Stanbury සහ පර්යේෂණ සගයන් ශෝලාගේ සහාය ඇති ව ඉංග්ලිෂ් ශෙපර්ඩ්ලා වෙත වැළඳෙන PRA රෝගයට වගකිව යුතු ජානමය විකෘතිය සොයාගන්නට සමත් වී තිබෙනවා. එසේ ම එම විකෘතිය හෝ එහි පිටපත් යම් සුනඛයෙකු සතු ව තිබේ දැ යි කල් තියා පරීක්ෂා කළ හැකි DNA පරීක්ෂණයක් ද ගොඩනඟන්නට ඔවුන් සමත් වී තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එය යුරෝ 48ක පමණ පිරිවැයක් යටතේ සිදු කළ හැකි පරීක්ෂණයක් බවයි.
PRA රෝගයට ව්‍යාධි මූලය වන ජානමය විකෘතිය එක් එක් අභිජනන වර්ගයට අනුව වෙනස් වනවා. පරීක්ෂණය තව තවත් අභිජනන වර්ගවලට ව්‍යාප්ත කළ හැකි පරිදි එම වර්ගවලට රෝගය ගෙන එන ජානමය විකෘතීන් මොනවා දැ යි මේ වන විට පර්යේෂණ කණ්ඩායම අවධානය යොමු කර තිබෙනවා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්