ජොඩ්රෙල් බෑන්ක් නිරීක්ෂණාගාරයේ අනාගතය අවදානමක

එක්සත් රාජධානියේ පිහිටි ජොඩ්රෙල් බෑන්ක් (Jodrell Bank) නිරීක්ෂණාගාරයට ලැබෙන අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන් එය වසා දැමීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. වසර 70 කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වන මෙම නිරීක්ෂණාගාරය සහ එහි දුරේක්ෂ ජාලය, ඈත මන්දාකිණි පිළිබඳ අධ්‍යයනය කිරීමට සහ අනාගත තාරකා විද්‍යාඥයින් පුහුණු කිරීමට විශාල සේවයක් ඉටු කරනවා. BBC පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම තීරණය විද්‍යා ප්‍රජාව විසින් හද කම්පා කරවනසුලු, විද්‍යාත්මක ව වැරැදි තීරණයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

විකල්ප අරමුදල් ප්‍රභවයක් සොයාගත නො හැකි වුවහොත්, 2028 අප්‍රේල් 1 වන දින වන විට මෙහි සියලුම විද්‍යාත්මක නිරීක්ෂණ කටයුතු නතර වනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. එක්සත් රාජධානියේ පර්යේෂණ සහ නවෝත්පාදන (UKRI) නියෝජිතායතනය ප්‍රකාශ කර ඇත්තේ, වැඩි ම දිගුකාලීන බලපෑමක් ඇති කරන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට තීරණය කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි. භෞතික විද්‍යා පර්යේෂණ පිරිවැය ඉහළ යාම හේතුවෙන් නිරීක්ෂණාගාරයේ වාර්ෂික පවුම් මිලියන 2.8 ක අයවැය කප්පාදු කිරීමට සිදු වූ බව එම ආයතනය වැඩිදුරටත් පවසා තිබෙනවා.

ජොඩ්රෙල් බෑන්ක් අඩවිය 1945 වසරේ දී ආරම්භ කරන ලද අතර, ගුවන්විදුලි තාරකා විද්‍යාව (radio astronomy) පුරෝගාමී ව හඳුන්වා දීමටත්, සීතල යුද්ධ සමයේ සෝවියට් මිසයිල නිරීක්ෂණය කිරීමටත් මෙය ඉමහත් සේවයක් සලසා දී තිබෙනවා. මෙහි ඇති ඓතිහාසික හා විද්‍යාත්මක වැදගත්කම සලකා 2019 වසරේ දී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කෙරුණා. අරමුදල් කප්පාදුව පිළිබඳව අදහස් දක්වන මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්‍රයන් කොක්ස් පවසා ඇත්තේ මෙය හදිසි සහ නො සැලකිලිමත් ලෙස ගත් තීරණයක් බවයි. මේ හරහා දැනටමත් බ්‍රිතාන්‍ය විද්‍යා ක්ෂේත්‍රයට විශාල හානියක් වී ඇති බව ඔහු වැඩි දුරටත් පවසනවා.

මෙම තීරණය හේතුවෙන් ජොඩ්රෙල් බෑන්ක් අඩවියේ රැකියා 28 ක් අවදානමට ලක්වන අතර, එහි පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් 3,000 කට පමණ බලපෑම් එල්ල වනවා. තව ද, හවායි හි පිහිටි ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් දුරේක්ෂය පර්යේෂණ කටයුතුවලින් ඉවත් වීමටත්, ලාර්ජ් හැඩ්‍රෝන් කොලයිඩර් (LHC) හි සිදු කිරීමට තිබූ යාවත්කාලීන කිරීම් කිහිපයක් නතර කිරීමටත් රජය තීරණය කර තිබෙනවා. ස්කොට්ලන්තයේ රාජකීය තාරකා විද්‍යාඥ මහාචාර්ය කැතරින් හෙයිමන්ස් පවසන්නේ මෙම අරමුදල් කප්පාදුව ජාතික වශයෙන් තමන්ට ම කරගන්නා හානියක් බවයි.

කෙසේ වෙතත්, නව ව්‍යාපාරික කටයුතු පිළිබඳ ලේකම් ජොනතන් රෙනෝල්ඩ්ස් පවසා ඇත්තේ එක්සත් රාජධානියේ පර්යේෂණ හැකියාවන් පවත්වා ගැනීමට සහ ඉදිරි පරම්පරාවේ විද්‍යාත්මක යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට තමන් කැප වී සිටින බවයි. ලවෙල් දුරේක්ෂය තවමත් ලොව තුන්වන විශාලතම මෙහෙයවිය හැකි ගුවන්විදුලි දුරේක්ෂය වන අතර එය ඊ-මර්ලින් (e-Merlin) දුරේක්ෂ ජාලයේ ප්‍රධාන මෙවලම ලෙස ක්‍රියා කරනවා. මෙම දුරේක්ෂ ජාලය හරහා ග්‍රහලෝක බිහිවන ආකාරය සහ අඳුරු ශක්තිය පිළිබඳව වැදගත් පර්යේෂණ සිදු කෙරෙන බැවින් එහි ක්‍රියාකාරිත්වය අඩාල වීම ජාත්‍යන්තර මට්ටමින් ද විමතියට කරුණක් වනු ඇතැ යි සොව පළකරන විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

Related posts

ඉයර්හාට්ගේ අතුරුදන් වීම ගැන නිකුමාරෝරෝ දූපතෙන් හමු වූ හෝඩුවාව

මුල් කාලීන විශ්වයට අයත් අබිරහස් ‘කුඩා රතු තිත්’ මොනවාද?

ඔර්කාවන් සන්ෆිෂ් මසුන් කැබලිවලට කඩා දමන හැසිරීමක් ප්‍රකට කරන බව නිරීක්ෂණය වෙයි