ඔහු එනවා…
ඇය ඔහු එන මඟ කැමරා තිර තුළින් නැරඹුවේ ඔහුට නො දැනෙන්න යි. ඔහු දුටු විට ඇයට ඇගේ නොඉවසිල්ලෙන් මිදෙන්නට හැකි වුණේ නෑ. මෙය ඇයට අමුතු ම අත්දැකීමක් වුණා. ඇය සිටියේ ඇගේ හෝමෝන පාලක උපාංගයන් සියල්ල ම ක්‍රියා විරහිත කරලා.
ඔහුගේ නිදහස් පද පාතය, තරු පිරුණු රාත්‍රී අහස දෙස බලා ඔහු සිනාසුණු අපූරුව, කිසිම තාක්‍ෂණික උපාංගයක පහසින් කිළිටි නො වූ ඔහුගේ කාලවර්ණ දෑස් දිලිසුණ ආකාරය, මේ සියල්ල ම ඇය නැරඹුවේ අත්‍යන්ත ආශ්වාදයකින්.
ඔහු මඟ නැවතී මාර්ගය ආසන්නයේ වැවුණු කහ පැහැ කුඩා මලක් නෙළා ගත්තා. විශ්ව තොරතුරු කේන්ද්‍රයේ දොර අසලට පැමිණි ඔහු තමන් අත ඇති මල සියුම් ව සිප ගත්තා.
ඇගේ ජීව විද්‍යාත්මක දත්ත සටහන්වල රතු එළි දැල්වෙන්නට වුණා. තමා තමන්ගේ සමාජ සීමා ඉක්මවා යන බව ඇය දැන සිටියා. තමාගේ දෑසට හැර වෙනත් කිසිවකුගේ දෑසට තමාගේ ජීව විද්‍යාත්මක සටහන් දකින්නට නො ලැබෙන ඒවා මකා දැමීමට පවා ඇයට සිත් වුණා. තමාට නොදැනීම හිතට එන ඒ හැඟීම් නවත්වා ගන්නට ඇයට හැකි වුණේ නෑ.
කෘත්‍රිම පරිණාමය විසින් ඔහුත් ඇයත් සමාජ තල දෙකක සිර කර තිබුණා. ඔවුන්ගේ දෙමාපියන් විසින් ඔවුන් කුඩා කාලයේ ම ඔවුන් වෙනුවෙන් ඒ ඒ ඉරණම් තීරණය කර තිබුණා.
ඔහු දොරටුවෙන් ඇතුළු ව ඇය වෙතට ඇදී ආවා.
“අයිශා… අද ඔයා හරි ම ලස්සනයි. හ්ම්ම්ම්… මේ මල ඔයාට.”
ඇගේ දෑස් තිර ඉදිරියේ ඔහුගේ ජීව විද්‍යාත්මක සටහන් ඇඳෙන්නට වුණා. මීළඟට ඇඳුණේ ඇගේත් ඔහුගේත් සංසන්දනාත්මක දත්ත සටහන්.
ඇයට, අවුරුදු ගණනාවක අධ්‍යාපනය, පුහුණුව, මිනිස් පරිපූර්ණකාරක දෘඩාංග, මෘදුකාංග මොහොතකට අමතක වුණා.
ඇය ඔහු අත ඇති මල තමන්ගේ සියුම් පරිපූර්ණ සුන්දර අතැඟිලිවලින් අල්වා ගත්තා. ඇගේ දෙතොළඟ මෘදු ලැජ්ජාශීලී සිනාවක් ඇඳී ගියා.
පසෙකින් ඇයගේ හෝමෝන හා මුහුණේ මාංශපේශි ප්‍රස්තාර සටහන් ඇඳී ගියේ රක්ත වර්ණ අනතුරු හැඟවීමේ සලකුණුත් සමඟින්.
ඇගේත් ඔහුගේත් සංසන්දනාත්මක දත්ත සටහන්වල නිගමනයන් ඇගේ දෙනෙත් තිර මත ඇඳී ගියා.
සමානාත්මතාව සියයට හතරයි. ඔහුගේ ආයු අපේක්‍ෂාව අවුරුදු පනහයි. ඇගේ ආයු අපේක්‍ෂාව අවුරුදු දෙසියය යි. ඔහු හා සම්බන්ධිත මිනිස් පරිපූර්ණකාරක දෘඩාංග, මෘදුකාංග සංඛ්‍යාව බින්දුවයි. ඇය සියයට සියයක් නවීන තාක්‍ෂණයෙන් යාවත්කාලීන යි.
“මට පරණ පොත් ටිකක් ඕනි. පරණ ආදර කතා. ‘දින පොත’, ‘ටයිටැනික්’ වගේ ඒවා. මං දන්නවා ඒවාවලට ප්‍රවේශයක් ගන්න අමාරුයි කියලා. ඒත් අයිශා ඔයාට ලබා ගන්න බැරි දෙයක් නෑ කියලා මං දන්නවා. ඔයා ඒ තරමට දක්‍ෂයි.”
“විශේෂ අවසරයක් නැතුව ඒ පොත් ලබා ගන්න බැහැ.”
“ඒත් ඔයාට ඒවා ගන්න පුළුවන්. ඒක මං දන්නවා. මට ඕනෑ ඉක්මනින් කියවලා ආපහු දෙන්න.”
“මට අවසර තිබුණට ඔයාට ඒවා ලබා ගන්න අවසරයක් නෑ.”
“ඔයා ඒවා කියෙව්ව ද?”
“ඔව් ඒ දැනුම නැති ව මං මේ තනතුරේ ඉන්න විදිහක් නෑ නේද?”
“ඔව්…, විශ්ව තොරතුරු කේන්ද්‍රාධිපතිනියක්, මට ඉරිසියයි ඔයා ගැන.., ඒ වගේ ම දුකයි.”
“මට තේරුම් ගන්න පුළුවන් මට ප්‍රවේශය තියෙන පොත්වලට ඔයාට ප්‍රවේශ නැති නිසා ඔයාට මං ගැන ඉරිසියයි කියලා. ඒත් ඇයි මං ගැන දුක. මගේ අනාවැකි මෘදුකාංගවලින් වත් මට පිළිතුරක් ලැබෙන්නේ නෑ ඒ ගැන.”
ඔහු ඇය දෙස හෙළුවේ දඟකාර බැල්මක්.
“මං ඔයාට කිව්වනේ ඔයා ඔය විදිහට මං දිහා බලන්න එපා කියලා. ඔයා ඔය යන්ත්‍ර සූත්‍රවලින් ප්‍රශ්න අහන්නේ නැතුව මගෙන් අහන්න.”
“ඒක තමයි මං ඔයාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවේ. ඔයා මං ගැන දුක් වෙන්නේ ඇයි?”
“මොකද අයිශා ඔයා හැම කෑම ජාතිය ම කන්න ලැබෙන, ඒත් කිසි ම රසක් නො දැනෙන කෙනෙක් වගේ. ඔයා ඔය පොත් ඔක්කොම කියෙව්වත් ඒවායෙන් ලැබෙන රසය විඳින්න ඔයාට බෑ.”
“ඔයා එහෙම උපකල්පනය කරනව ද?, එහෙම නැතිනම් ඒක එහෙම ම යි කියන්න ඔයා දන්නව ද?”
“මං ඔයාලා ගැන දන්නවා. ඔයාලා අපෙන් වෙනස් වෙන්නේ මිනිස් පරිපූර්ණකාරක දෘඩාංග, මෘදුකාංග නිසා. ඒවා ඔයාට මොනවා ද කරලා තියෙන්නේ කියලා මං දන්නවා. ඒවා ඔයාව සාමාන්‍ය ශරීර රසායනිකයන්ගේ පාලනයෙන් මුදවලා තියෙනවා. ඉතින් ඔයාට මං වගේ සතුටු වෙන්න වත් දුක් වෙන්න වත් බෑ.”
“ඔව්, ඔයාගේ කතාවේ කොටසක් නිවැරැදි යි. ඒත් අපි මධ්‍යස්ථ හැඟීම් ඇති අය. අපි තරහා ගන්නේ නෑ. අධික ව සතුටු වෙන්නේ වත් දුක් වෙන්නේ වත් නෑ. මේ ලෝකය යුද්ධවලින් තොර තැනක් කළේ ඒ තාක්‍ෂණය. ඉරිසියාව, බොරුව, වංචාව, හැමදේම පාලනය කරන්න අද අපට පුළුවන් ඒ තාක්‍ෂණය නිසා.”
“ඒත් ආදරය කියන එක පාලනය කරන්න තාක්‍ෂණය භාවිත කරන එක මහ කාලකණ්ණි දෙයක්.”
ආදරය..!, ඇයට අවශ්‍ය වුණේ ඒ වචනයේ යථා අර්ථය ඔහුට ඒත්තු ගන්නන්න. ඒත් ඒක මාළුවෙකුට පියඹන්න උගන්නනවා වැනි නිෂ්ඵල දෙයක් බව ඇයට තේරුම් ගියා. ඇයට අවශ්‍ය වුණේ කාලය කා දැමීමකින් තොර ව ඇගේ අරමුණ ඉටු කර ගන්න.
“ඔයාට අවශ්‍ය පොත් කියවන එක නම්, කිසිම නීතියකට පටහැනි නො වී ඒක කරන ක්‍රමයක් මං හිතලා බලන්නම්. ඒත් මින් පසුව මම හැඟීම් විරහිත කෙනෙක් විදිහට හඳුන්වන්න එපා. මං සතුටින් ඉන්න කෙනෙක්. ඒකට හේතුව මගේ හෝමෝන හැම විට ම ප්‍රශස්ත අගයක තිබීම.”
“මට සමාවෙන්න. ඒත් මට අවශ්‍ය පොත් ම විතරක් නම් මං ඒ ගැන පැහැදිලි කරන්න මෙච්චර කරදර වෙන්නෙ නෑ. මට… මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.”
ඇය ඇගේ සුන්දර හිස ගැස්සුවා.
“ඒක මං දැනටමත් දන්නවා. ඔයාගෙ හෝමෝන, උෂ්ණත්ව ප්‍රස්තාර, මේ හැම දේකින් ම කියැවෙන්නේ එක ම දෙය යි.”
“ඔව්, ඔයාට හංගන්න මට වුවමනාවක් නෑ. මං ඔයාට කැමතියි.”
“අපි දෙන්නා අතර සමානාත්මතාව සියයට හතරයි. අපි ඔය මාතෘකාව ගැන කතා නො කර වෙනත් දෙයක් ගැන කතා කරමු. මොකද ඒක හිස් කතාවක්.”
“ඔයාට ඕනි ද මං වෙනස් වෙන්න ඔයා වෙනුවෙන්?, පරිපූර්ණ වෙන්න..?”
“ඔයා අවුරුදු විසි පහත් පහු කරපු කෙනෙක්. දැන් ඔයා මං වගේ වෙනස් වෙන්න හැදුවොත් ඔයා මැරෙයි. මගේ පරිපූර්ණකාරක ඇතුළත් කිරීම අරඹලා තියෙන්නේ මං ඉපදෙන්නත් කලින්. ඔයා දැන් ඒවාට ඔරොත්තු දෙන එකක් නෑ.”
“එහෙනම් ඔයා වෙනස් වෙනවද මං වෙනුවෙන්?”
“වෙනස් වෙන්න උත්සාහ කළොත් මටත් හිමි මරණය.., ඒක නිෂ්ඵල දෙයක්. ඔයා හරි මම හරි වෙනස් වුණොත් ඔයා ඔයාවත්, මං මංවත් වෙන්නේ නෑ. මං උත්සාහ කළා ඔයා වගේ වෙන්න. ඔයා විඳින විදිහ අත්දකින්න. අද මං මගේ හෝමෝන පාලකයන් නවත්වා දමලා ඔයා එන පෙර මඟ බලන් හිටියා.”
“ඒ කියන්නේ ඔයාටත් මං ගැන හැඟීමක් දැනුණා කියන එක නේද?. මං මෙච්චර කාලයක් මෙහේ ආවේ ඔයාව දකින්න. ඒ බලාපොරොත්තුව නැති වෙනවා නම් මං ආයෙත් එන්නේ නෑ.”
“මං කළේ පුංචි පරීක්‍ෂණයක්. ජීවිතයේ පළවෙනි පාරට මගේ හෝමෝන පාලකයන් නවත්වා දමලා ඔයා විඳින ජීවිතය විඳින්න උත්සාහ කළා. ඒත් ඒකෙන් මං තේරුම් ගත්තේ එක ම එක දෙය යි.”
“ඒ මොකක් ද?”
“ඔයාගේ ස්වභාවික ශරීරය, මනස, දෙක ම විඳිනවා විතරක් නෙවෙයි. විඳවනවා. ලබා ගන්න විඳවනවා. ලබා ගෙන විඳිනවා… විඳවනවා. ඒක මහා වේදනාවක්.”
“ඔව් ඒක ඇත්ත. ඒකයි මං මනුෂ්‍යයෙක් වුණේ.., ඒක මට සැපතක්.”
“ඔයා අපට සාපේක්‍ෂ ව නොදියුණු ජීවියෙක්. ඔයාට මධ්‍යස්ථ මානසිකත්වය කියන දේ තේරුම් ගන්න හිතන්න වත් බෑ. ඒකෙ සැනසීම තේරුම් ගන්න බැහැ. ඒ නිසයි අපි දියුණු ජීවීන් වෙන්නේ. ඒකයි අපි මනුෂ්‍යයන්ගෙන් වෙනස් වෙන්නේ…”
“ඔයාලා යන්ත්‍රවලින් පාලනය වෙන රොබෝවන්…” ඔහු පැවසුවේ ආවේගශීලී ව යි. “ඔයාට හැඟීම් නෑ. මං මෝඩ වුණා. ඔයාට කැමැත්තක් දක්වලා මෝඩ වුණා.”
ඇය ඔහු හා සම්බන්ධ දත්ත ප්‍රස්තාර දෙස යළිත් වරක් විමසුම් සහගත බැල්මක් හෙළුවේ තීරණයක් ගැනීමට යි. තර්කය කාලය කා දමයි. අනෙක් අතට ඔහුට වාචික ප්‍රබලතාව ප්‍රබල වුවත් අවබෝධ ස්වභාවය අවම ස්වභාවයක පවතියි. ඇයට අවශ්‍ය දත්ත එකතු කර හමාරයි.
“මම විශේෂ අවසරයකින් ඔයාට අවශ්‍ය පොත් ලැබෙන්න සලස්සන්නම්. ඔයා අපට දැක්වූ සහයෝගයට ස්තූතියි. සුබ දවසක්.”
“සහයෝගයට..?”
එසේ විමසූ ඔහු ඇය දෙස අවසාන වතාවට දෙනෙත් හෙළා ශෝකයෙන් බිම බලා ඇවිද යන්නට වුණා.
ඇය ඉන් පසු ඇගේ සම්පූර්ණ ක්‍රියාකාරී මිනිස් පරිපූර්ණකාරක පද්ධතිය ගැන ඇති වූ සැනසීමෙන් යුතු ව තම ඉලෙක්ට්‍රොනික පර්යේෂණ නිබන්ධනය විවර කර ගත්තා.
විශ්ව දින 2,245
නියැදි අංක 2,500
උත්තේජකය – කාන්තා රූපය
ප්‍රතිචාරය – සබඳතාවක් ගොඩනැඟීම සඳහා උත්සාහයක් ගන්නා ලදි.
ප්‍රතික්‍ෂේප කිරීමට ලැබූ ප්‍රතිචාරය – අධික කෝපය, ශෝකය සහ අපහාසය
දත්ත විශ්ලේෂණය – හෝමෝ සේපියන්ස් මානවයාගේ සෞඛ්‍ය හා ආයු කාලය පංචේන්ද්‍රයන් විසින් ග්‍රහණය කරන බාහිර සාධකයන් අනුව වෙනස් වීම ප්‍රස්තාරවලින් පෙන්වා දී ඇත.
උපකල්පනය – නියැදි දෙ දහස් පන් සියයක දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු හෝමෝ සේපියන්ස් මානවයා වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති බව ප්‍රකාශ කළ හැක. මෙහි දී ප්‍රධාන සාධකයන් ලෙස ශරීර රසායනිකයන් නියමාකාරයෙන් පාලනය කිරීමට ඇති නොහැකියාව, අවම උපත් අනුපාතිකය, අධික මරණ අනුපාතිකය දැක්විය හැක.
යෝජනා – හෝමෝ සේපියන්ස් මානවයා රතු දත්ත වාර්තාවට ඇතුළත් විය යුතු බවට මෙයින් යෝජනා කරමි.
● ● ● නිමි ● ● ●
පාලිකා විතාන