මෙවර නිරිතදිග මෝසම් ඍතුවේ ආරම්භය තරමක අසාමාන්‍ය තත්ත්වයක් බවට පත් විය. ඉන්දීය කාලගුණ විද්‍යා අංශවලට අනුව මෙවර ප්‍රචණ්ඩ සුළි සුළඟක ආපදාකාරී බලපෑමක් සමග ම නිරිතදිග මෝසම් සාධක ස්ථාපිත විය. එම තත්ත්වය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශවල සහ බංග්ලාදේශයට පමණක් නො ව ශ්‍රී ලංකාවට ද බලපෑවේ ය.
වැසි සහිත පෙර මෝසම් කාලගුණ තත්ත්වය අවසන් වී නිරිත දිග මෝසම් කාලගුණ සාධක දිවයින සහ අවට ප්‍රදේශවල ස්ථාපිත වන බවට කාලගුණ අනාවැකි ප්‍රකාශ වූ අතර බෙංගාල බොක්කේ වර්ධනය වූ අඩු පීඩන ප්‍රදේශයක් සම්බන්ධ සාධක ඉස්මතු විය. එම අඩුපීඩන ප්‍රදේශය බෙංගාල බොක්ක සමුදුර ඔස්සේ ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කළ අතර ම ක්‍රමයෙන් ප්‍රචණ්ඩ වී සුළි සුළඟක් බවට පත් වී බංග්ලාදේශයේ සැලකිය යුතු ආපදා සිදු කරමින් එම රටට ඇතුළු වූ බව වාර්තාවලින් දැනගන්නට ලැබුණි.
මේ අතර ලොව පුරා ම ප්‍රදේශ ගණනාවක ම සාමාන්‍ය තත්ත්වයන් ඉක්මවා යාමට තරම් ප්‍රබල වූ කාලගුණ සාධක ක්‍රියාත්මක වූ අතර ඊට හේතු වූ සාධක අතරින් දැනට ලොව මුහුණ දෙන මිහිකත උණුසුම (Global Warming) සහ දේශගුණ වෙනස් වීම (Climate change) ප්‍රධාන සාධක වී ඇති බවට කරුණු ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවට ද නිරිත දිග මෝසම් කාලගුණ සාධක ප්‍රචණ්ඩ සහ ආපදාකාරී විය හැකි අතර පැසිපික් සමුදුරේ (Pacific Ocean) දැන් වර්ධනය වෙමින් තිබෙන ලා නිනා (La Nina) පද්ධතියේ බලපෑම ද හේතුකාරක විය හැකි බවට කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි.
සැප්තැම්බර් මස මැද භාගය දක්වා පවතින නිරිත දිග මෝසම් සමයේ දී බටහිරින් හෝ නිරිත දිග දිශාවෙන් හමා එන සුළං ප්‍රවාහ දිවයින හරහා හමා ගොස් බෙංගාල බොක්ක සමුදුරු පෙදෙසට වෙත ළඟා වන්නේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 20ක තරම් වේගයෙනි. එහෙත් විටින් විට එම සුළං ප්‍රචණ්ඩ වීමට බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු කොටසේ වර්ධනය වන පීඩන අවපාත හෝ සුළි සුළං බලපායි. බටහිරින් හෝ නිරිත දිගින් හමා එන සුළං, විශාල ජලවාෂ්ප ප්‍රමාණයක් එක් රැස් කරගෙන හමා එන නිසා ප්‍රදේශ රැසකට වැසි ඇද හැලේ. එම වැසි වැඩි ප්‍රමාණයක් ඇද හැලෙන්නේ බස්නාහිර, නිරිත දිග සහ දකුණු පළාත්වලටත්, මධ්‍යම කඳුකරයට සහ එම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් ය.
වායුගෝලයේ ඉහළ ස්ථරවල සාපේක්ෂ ආර්ද්‍රතාව ඉහළ අගයක් ගන්නා අවස්ථාවල, එනම් එම මට්ටම්වල ඉහළ ජලවාෂ්ප ප්‍රමාණ තිබෙන විට බටහිරින් හමන සුළං මඟින් ජල වාෂ්ප සහ ඉහළ වළාකුළු මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ මෙන් ම නැගෙනහිර ප්‍රදේශවලට වර්ෂාව සහිත කාලගුණ තත්ත්ව උදාකරයි.
නිරිත දිග මෝසම් සෘතුවේ දී ගිගුරුම් සහිත වැසි ලබාදෙන කැටි වැහි වලාකුළු (Cumulonimbus cloud) වර්ධනය වීම අඩු වුවත් අවශ්‍යතා සම්පූර්ණ වන තත්ත්වයන් යටතේ අකුණු සහ ගිගුරුම් සහිත වූ වැසි ද ඇති වීමේ සම්භාවිතාවක් ඇත.
ඉහත සඳහන් කරුණු පිළිබඳ සලකා බලන කල නිරිත දිග මෝසම් සමයේ අප ජනතාවට මුහුණ පෑමට සිදු වන ස්වභාවික විපත් වනුයේ ගංවතුර උවදුර, පානීය ජල ප්‍රශ්ණය, නායයෑම්, ගොඩනැගිලි අර්ධ ලෙස හෝ පූර්ණ ලෙස කැඩී බිදී යාම, ප්‍රචණ්ඩ සුළංවල බලපෑමෙන් ගස් කැඩී බිඳී යාම මඟින් ගොඩනැගිලිවලට සහ ශාරීරික ලෙස ජනයාට හානි සිදු වීම් ප්‍රධාන ස්වභාවික විපත් ය. විශාල ගස් කඩා වැටීම් සහ ඉදිරී වැටීම් නිසා ජීවිත හානිය, මාර්ග අවහිරවීම මෙන් ම භව භෝග විනාශ වීමද නිරිත දිග මෝසම් කාලගුණ සාධකවල අයහපත් ආපදාකාරී ප්‍රතිඵල වන්නේ ය.
ඉදිරි කාලය තුළ අපිට මුහුණ පාන්නට සිදු විය හැකි ස්වභාවික ආපදා පිළිබඳ ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, පොලිසිය, වෛද්‍ය අංශ ඇතුළු වගකිවයුතු අංශ රැසක් ජනමාධ්‍ය හරහා අප වෙත ලබා දෙන අනාවැකි අනතුරු ඇඟවීම් සහ ආපදා කළමනාකරණ පියවර පිළිබඳ අවධානය යොමු කොට ඒ අනුව කටයුතු කිරීම වැදගත් ය.
■ කේ.ආර්. අභයසිංහ