Home FeaturesTechnology හිස්බුල්ලා හිස් සුන් කළ පේජර් පිපුරුම

හිස්බුල්ලා හිස් සුන් කළ පේජර් පිපුරුම

by Sathya

ඉකුත් 17 බදාදා පස්වරු 3.30ට ලෙබනනය පුරා භාවිතයේ පැවති පේජර් උපාංග යම් පණිවුඩයක් ලැබෙන බව දන්වමින් බීප් නඳ නඟන්නට පටන්ගත්තේ ය. ඉන් පසු ගත වූ නිමේෂයේ දී ඒවා පුපුරා ගියේ මාරක අනතුරු සිදු කළ හැකි පරිද්දෙනි. ඉන් කුඩා දැරියක ද ඇතුළු ව 11 දෙනෙකු මරුමුවට පත් වූ බවත්, 2,700ක් තුවාල ලබා ඇති බවත් ලෙබනනය සඳහන් කර තිබුණි. පෙනෙන්නට තිබුණේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් සංවිධානාත්මක ප්‍රහාරයක් ලෙස එය දියත් ව ඇති බව ය. අනතුරට පත් තුවාලකරුවන්ගෙන් ලෙබනනයේ රෝහල් පිරී හිස්බුල්ලා සංවිධානය ද වික්ෂිප්ත ව සිටින විට දෙ වැනි වතාවටත් පිපිරීම් මාලාවක් වාර්තා විය. ඒ 18 වැනි බදාදා යි. එවර පිපිරී ගියේ වෝකි ටෝකි උපාංගයි. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබූ පරිදි ඉන් පුද්ගල මරණ අවම වශයෙන් 20ක් වත් වාර්තා වී ඇති අතර 450කට අධික පිරිසක් හානියට ලක් වී තිබිණි.

ඉරානයේ සහාය යටතේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය, ලෙබනනයේ ජිහාඩ් ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් මෙන් ම එරට සිටින බලසම්පන්නතම සන්නද්ධ හමුදාව ලෙස ද සැලකෙයි. ඉකුත් වසරේ පලස්තීනයේ හමාස් ත්‍රස්ථයන් විසින් ඊශ්‍රායලයට ඇතුළු වී සිදු කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසු ඇවිලුණු ගාසා තීරයේ යුද තත්ත්වයට මැදිහත් වූ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට විරුද්ධ ව අවි ඔසවමින් සිටියේ ය. ඒ සිය මිත්‍ර පාර්ශ්වයක් වන හමාස් සංවිධානයට සහාය පළ කරමිනි.

හිස්බුල්ලා සංවිධානය පේජර් භාවිතයට නැඹුරු වන්නේ ඉකුත් පෙබරවාරියේ දී එහි මහලේකම් සයේද් හසන් නස්රල්ලා (Sayyed Hassan Nasrallah) කළ ප්‍රකාශයකට අනුව ය. ඔහු පැවසුවේ ජංගම දුරකතන භාවිත කිරීම ඊශ්‍රායල බුද්ධි සේවය වෙත තොරතුරු ලබා ගැනීම පහසු කරවන බවයි. “ඊශ්‍රායලයට තවදුරටත් සහයෝගිතාකරුවන් අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ඔත්තු බලන උපාංග දැනටමත් ඔබේ සාක්කුවල. ඔබ සොයන්නේ ඊශ්‍රායල් ඔත්තුකරුවෙකු නම්, ඔබ බැලිය යුත්තේ ඔබේත්, බිරියගේත්, දරුවන්ගේත් අත තිබෙන ජංගම දුරකතනය දෙසයි. ජංගම දුරකතන කියන්නේ සාමාන්‍ය ඔත්තුකරුවෙකුත් නෙවෙයි. ඒවා සවිස්තරාත්මක, අතිශය නිරවද්‍ය තොරතුරු ලබා දෙන මරණීය ඒජන්තයන්.” ඔහු අනතුරු ඇඟෙව්වේ ය. ලොව පුරා භාවිතය සීමිත වෘත්තීන් ගණනකට පමණක් සීමා වී තිබූ පේජර්, හිස්බුල්ලා සංවිධානයේ පණිවුඩ හුවමාරුව සඳහා යොදා ගැනෙන්නේ ඉන් පසු ව ය.

පේජරය (pager) යනු ජංගම දුරතතනවල ආගමනයට පෙර බහුල වශයෙන් භාවිතයේ තිබූ සන්නිවේදන උපාංගයකි. ඉන් යම් නිෂ්චිත සංඛ්‍යාතයක් ඔස්සේ පැමිණෙන පාඨමය පණිවුඩ දැකබලා ගත හැකි ය. මෙය සිදු වන්නේ රේඩියෝ සංඥා මිස දුරකතන සංඥා හෝ අන්තර්ජාලය හෝ යොදා නො ගෙන බැවින් දුරස්ථ ව සිට දත්ත පැහැරීම අපහසු ය. අද වන විට මේවායේ භාවිතය ආරක්ෂක අංශ, රෝහල් කාර්ය මණ්ඩල ආදී සීමිත වෘත්තීන් ගණනකට සීමා වී ඇත. සරල තාක්ෂණයකින් ක්‍රියාත්මක වීම, මෘදුකාංගවලින් තොර ව දෘඩාංග මත රඳා පැවතීම, සති කිහිපයක් පවතින බැටරි බලයක් තිබීම ආදී හේතු මත ඒවා හිස්බුල්ලා සංවිධානයේ පණිවුඩ බෙදාහැරීම සඳහා මෑත කාලීන ව වැඩි වශයෙන් යොදාගෙන තිබිණි.
පේජර් ඉලක්ක කරගත් පිපිරීම් මාලාව සිදු වීමට පෙර හිස්බුල්ලා නායකත්වයෙන් පණිවුඩයක් ලැබෙමින් තිබෙන බව අඟවමින් ඒවා නද දෙන්නට පටන්ගෙන තිබිණි. සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇති පරිදි මේ නාද වීම නතර වී ඇත්තේ පරිශීලකයාට පණිවුඩය කියවීම සඳහා පේජරය සිය මුහුණ ආසන්නයට ඔසවා ගැනීමට යම් කාලයක් ලබා දීමෙන් අනතුරු ව ය. සිද්ධියෙන් මිය ගිය 11 දෙනා අතර නව හැවරිදි දැරියක් ද වෙයි. ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇති පරිදි 2,750 ක් වූ තුවාලකරුවන්ගේ තුවාල බහුල ව දක්නට ඇත්තේ මුහුණ, දෑත් සහ බඩ ආශ්‍රිත ප්‍රදේශ ය.

පේජර්වලට ජවය සැපයෙන්නේ ලිතියම් අයන බැටරිවලිනි. යම් හෙයකින් එහි උෂ්ණත්වය අධික ලෙස ඉහළ දැමීමට හැකි වේ නම් උෂ්ණත්ව ධාවනය හෙවත් thermal runaway ලෙස හැඳින්වෙන ක්‍රියාවලිය හටගනියි. ඉන් රසායනික දාම ප්‍රතික්‍රියාවක් ඇරඹෙන අතර අවසානයේ දී බැටරිය දරුණු පුපුරා යාමකට ලක් විය හැකි ය. පේජර් පුපුරා හරින්නට මෙය ද උපක්‍රමයක් ලෙස භාවිත වන්නට ඇතැ යි මුලින් සැක පළ වුණ ද අන්තර්ජාලයට හෝ සම්බන්ධ වී නැති උපාංග රැසක එක ම මොහොතේ උෂ්ණත්ව ධාවනයක් සිදු කිරීම ප්‍රායෝගික නො වන බව විද්වත් මතයයි.
විශේෂඥයන් විශ්වාස කරන්නේ ස්ථායි පිපුරුම්කාරක සුළු ප්‍රමාණයක් බැගින් පේජර් උපාංග අභ්‍යන්තරයේ තැන්පත් කර තිබී ඇති බව ය. එංගලන්තයේ සරේ විශ්වවිද්‍යාලයේ සයිබර් ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් (Alan Woodward) පෙන්වා දෙන පරිදි යම් පිපුරුමක දී පුපුරා යන පිපුරුම්කාරකයේ ප්‍රමාණාත්මක අගයට වඩා මරණීය වන්නේ එය ආසන්නයෙන් පිහිටා තිබීමයි. පණිවුඩයක් ලැබෙන බවට නාද වීමත් පිපුරුමට අවශ්‍ය සංඥාවත් නිකුත් කර ඇත්තේ පේජරය තුළ ම අන්තර්ගත කරන ලද මෘදුකාංගයකින් විය හැකි බව ඔහුගේ මතයයි.

පුපුරා ගිය පේජර් යන්ත්‍රවල Gold Apollo නමැති තායිවාන සමාගමේ වෙළෙඳ සලකුණ දැකගත හැකි ය. තායිපෙයි නගරයේ පිහිටුවා ඇති ඒ සමාගම ලොව විවිධ රටවලට සන්නිවේදන උපාංග අපනයනය කරයි. ලෙබනනයේ සිදු වීමෙන් පසු සමාගමේ සභාපති Hsu Ching-kuang සඳහන් කළේ ඒවා තායිවානයේ සිට ඍජු ව සිය සමාගමේ නිෂ්පාදනයක් ලෙස හිස්බුල්ලා අතට පත් වූ පේජර් තොගයක් නො වන බව ය. එසේ ම හංගේරියාවේ ස්ථාපිත BAC නමැති සමාගමක් යටතේ ද සිය නිෂ්පාදන එකලස් කිරීම් සිදු වූ බවත්, ඒවා ද Gold Apollo සන්නාමය යටතේ නිකුත් කිරීමට අවසරය ලබා දී තිබූ බවත් ඔහු සඳහන් කළේ ය. හිස්බුල්ලා මිල දී ගෙන ඇත්තේ ඉන් පිට වූ පේජර් යන්ත්‍ර තොගයක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබිණි.
BAC නමැති හංගේරියානු සමාගමට අයත් යැයි කියන ප්‍රධාන ගොඩනැඟිල්ල සොයා ගිය ජාත්‍යන්තර මාධ්‍යෙව්දීන්ට දැකගත හැකි වූයේ හුදෙක් A4 කඩදාසියක නම සහ ලිපිනය සඳහන් කරමින් ඉදිරිපස දොරෙහි අලවා තිබූ ‘නාම පුවරුවකින්’ යුතු වසා දැමුණු ගොඩනැඟිල්ලකි. BAC සතු ව එරට තුළ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නොමැති බව ද හෙළි වී තිබේ. හිස්බුල්ලා වෙත ආ පේජර් තොගය නිෂ්පාදනය වූයේ කොතැන ද යන්න සහ ඒවා තුළ පුපුරන ද්‍රව්‍ය අන්තර්ගත කෙරුණේ කුමන අදියරක දී ද යන්න තවමත් තහවුරු කරගත යුතු ව ඇත.
මේ පිපිරීම් මාලාවත් සමඟ හිස්බුල්ලා සංවිධානය චෝදනා එල්ල කළේ ඊශ්‍රායලය දෙසට ය. ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ් මින් පෙර සිදු කරන ලද්දේ යැ යි සැක කෙරෙන ක්‍රියා දෙස බලන විට මෙය ද ඔවුන්ගේ ක්‍රියාවක් බවට සාධාරණ සැක මතු වීම අරුමයක් නො වේ. මෙය අතිශය සූක්ෂ්ම ලෙස සැලකිය යුතු කාලයක පටන් සැලසුම් කළ සංවිධානාත්මක ප්‍රහාරයක් බව මැනැවින් පෙනී යයි. ජංගම දුරකථන භාවිතය ගැන නස්රල්ලාගේ ප්‍රකාශයෙන් පසු හිස්බුල්ලා සංවිධානය විසින් පේජර් උපාංග 5000ක් ඇණවුම් කෙරුණු බව දැන සිටිය හැක්කේ එහි සංවිධාන ව්‍යුහය ගැන මනා අවබෝධයකින් පසු වූ පාර්ශ්වයක් බව අවිවාදිත ය.
ඇණවුම භාරදෙන දිනය, එහි අතරමැදියන් ආදී සියල්ල ප්‍රහාරයේ සැලසුම්කරුවන් දැන නො සිටින්නට ඉඩක් නැත. ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයනායතනයේ (International Institute for Strategic Studies) වීර්ප්‍රතාප් වික්‍රම් සිං සහ එමිලි හොකායෙම් පෙන්වා දෙන පරිදි මෙහි ඇති මහා පරිමාණික ස්වභාවය, නිරවද්‍යතාව ආදිය සලකා බැලීමේ දී පෙනී යන්නේ එය මාස ගණනක් පුරා ඇදුණු සූක්ෂ්ම සැලසුම්කරණයක ප්‍රතිඵලයක් බව ය. ඊශ්‍රායලය නිල වශයෙන් මෙහි වගකීම භාරගෙන නැත. එය අපේක්ෂා කළ යුත්තකි. මක් නිසා ද යත් එදිනෙදා ජීවිතයේ දී සිවිල් වැසියන් පරිහරණය කරන උපාංග තුළ පුපුරන ද්‍රව්‍ය අඩංගු කර ඝාතක අවි ලෙස යොදාගැනීම ජාත්‍යන්තර නීතියෙන් තහනම් ක්‍රියාවක් වන හෙයිනි.

මොසාඩ් සංවිධානය, 1996 දී හමාස් ත්‍රස්ථයන්ගේ නායකයා ව සිටි යාහ්යා අයියාෂ් (Yahya Ayyash) ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේ ද මෙවැනි ක්‍රමවේදයක් වීම ඉහත සැකය තවදුරටත් තහවුරු කරයි. ඒ ඝාතනය සිදු වූයේ ද අභ්‍යන්තරයේ පුපුරන ද්‍රව්‍ය සඟවා තිබූ දුරකතනයක් පුපුරුවා හැරීමෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications