Home Science News නියැන්ඩර්තාල් දත්වල විසූ බැක්ටීරියාවන්ගේ DNA ප්‍රතිනිර්මාණය කෙරෙයි

නියැන්ඩර්තාල් දත්වල විසූ බැක්ටීරියාවන්ගේ DNA ප්‍රතිනිර්මාණය කෙරෙයි

by Sathya

නියැන්ඩතාල් මානවයින්ගේ දත් මතුපිට වර්ධනය වූ දන්ත ඵලකවල විසූ පැරණි බැක්ටීරියාවල DNA ප්‍රථම වරට ප්‍රති නිර්මාණය කිරීමට එක්සත් ජනපද සහ ජර්මන් විද්‍යාඥයින්ගෙන් යුත් ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් සමත් ව තිබෙනවා.

එය ගල් යුගයේ පැවති කාබනික අණු යළි කරළියට ගෙන ඒමක් ලෙස සැලකෙනවා.

වසර 100,000 කට ඉහත කාලයක් දක්වා මිහිමත ඇවිද ගිය නියැන්ඩතාල් මානවයින් 12 දෙනෙකුගේ සහ පේලියෝලිතික (ආදි ශිලා) යුගයේ විසූ මිනිසුන් සත් දෙනෙකුගේ දත් මත විසූ කලින් හඳුනාගෙන නො තිබූණු Chlorobium නම් බැක්ටීරියා වර්ගයක ජීනෝමයන් මෙසේ ප්‍රති නිර්මාණය කිරීමට ඔවුනට හැකි වී තිබෙනවා.

එමගින් ඔවුන් සොයා ගත්තේ මීට පෙර කිසි දිනක දැන නො තිබූ පේලියෝෆියුරන්ස් නමින් ඔවුන් විසින් හඳුන්වනු ලබන පවුලකට අයත් ස්වාභාවික අණු කාණ්ඩයක් එම පැරණි ජාන වල DNA මඟින් නිපදවනු ලැබූ බවයි.

මේ අණු මඟින් කෙරෙන කාර්යය පිළිබඳව විද්‍යාඥයින් නිසැක ව නො දන්නා නමුත් වෛද්‍ය ලෝකයේ ප්‍රතිජීවක ලෙස භාවිතයට ගත හැකි පරිදි ඉතිහාසයට අහිමි වුණු නෂ්ට වී ගිය අණු සොයා ගැනීමට මේ ක්‍රියාවලිය මඟින් හැකි වී තිබෙනවා.

“අපි ඒ පැරණි බැක්ටීරියාවල DNAවලින් කොටසක් ප්‍රති නිර්මාණය කළා. එමඟින් අප පේලියෝෆියුරන්ස් නමින් හඳුන්වන අණු වර්ගයක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා.”

ස්වාභාවික නිෂ්පාදන පර්යේෂණ පිළිබඳ Leibniz ආයතනයේ ජෛව කාබනික රසායන විද්‍යා මහාචාර්ය Pierre Stallforth එසේ පවසනවා.

“අප අනුමාන කරන්නේ මේ සංයෝග බැක්ටීරියා අතර සන්නිවේදනය සඳහා යොදාගත් සංඥා අණු වර්ගයක් බවයි. ඊළඟ පියවර මේ අණුවලට ප්‍රතිජීවක ගුණ තිබේ දැ යි පරීක්ෂා කිරීමයි. “

ඔහු තවදුරටත් සඳහන් කරනවා.

බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් මඟින් නිපදවනු ලබන වෛද්‍යමය හෝ කාර්මික වශයෙන් ප්‍රයෝජනවත් සොබාදහමේ ජෛව සක්‍රිය අණු දඩයම් කිරීම විද්‍යාඥයින් නො නැවතී සිදු කරන ක්‍රියාවලියක්.

සොබාදහමේ බලවත් ම රසායනඥයින් වන ක්ෂුද්‍ර ජීවීන්ගේ නිර්මාණයන් අතරට ප්‍රතිජීවක ඖෂධ අයත් වනවා.

වසර බිලියන තුනකටත් වඩා අතීතයේ සිට බැක්ටීරියා පෘථිවිය මත පැවත එනවා. එනිසා ම පර්යේෂකයන්ගේ විශ්වාසය අතීතය පිරික්සීමෙන් නව විභවයන් ඇති අණු වර්ග සොයාගැනීම පහසු වන බවයි.

ඉහත පර්යේෂණය සිදු කළ කණ්ඩායම පැවසුවේ ඔවුන් සොයාගත් Chlorobium විශේෂයන් සැබවින් ම වඳ වී ගොස් ඇති දැ යි තමන් නිසැක ව නො දන්නා බවයි.

ඔවුනට වඩාත් ම සමීපතම ක්ෂුද්‍ර ජීවී නෑයින් විල්වල වෙසෙනවා.

පුරාතන බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය නැවත කරළියට ගෙන ඒමට මෙකී ප්‍රවේශය මඟින් පළමු වරට හැකි වී තිබෙනවා.

Leibniz ආයතනයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයකු වන ආචාර්ය මාටින් ක්ලැපර් සඳහන් කරන පරිදි පෘථිවියෙහි අතීත ක්ෂුද්‍ර ජීවීන්ගේ සැඟවුණු රසායනික විවිධත්වය සඳහා ප්‍රවේශ වීමේ ප්‍රථම පියවර මෙය වනවා.

මේ පිළිබඳ පර්යේෂණ වාර්තාව පසුගිය මැයි 4 වැනි දින Science ජර්නලයේ පළ කර තිබෙනවා.

The Telegraph සහ Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications