Home Science News ඉන්දියාවේ 14 හැවිරිදි ‘මානව ගණක යන්ත්‍රය’ ගිනස් වාර්තා හයක් පිහිටුවයි

ඉන්දියාවේ 14 හැවිරිදි ‘මානව ගණක යන්ත්‍රය’ ගිනස් වාර්තා හයක් පිහිටුවයි

by Sathya

නවයෞවන වියේ පසු වන දරුවෙකු එක ම දිනක දී මනෝමයෙන් සංකීර්ණ ගණිත ගැටලු හයක් විසඳමින් ගිනස් වාර්තා කිහිපයක් ම පිහිටුවන්නට සමත් ව තිබෙනවා. ඉන්දියාවේ මහාරාශ්ට්‍රහි වෙසෙන 14 හැවිරිදි ඔහු ආර්යන් නිතින් ශුල්කා. මින් පෙර ද සංකීර්ණ ගණිත ගැටලු මනෝමයෙන් විසඳීම කෙරෙහි නම් දිනා සිටි ඔහුට ‘මානව ගණක යන්ත්‍රය’ යනුවෙන් අන්වර්ථ නාමයක් ද පටබැඳී තිබෙනවා.

මේ ගිනස් වාර්තාව පිහිටුවීමේ දී ආර්යන්, ඉලක්කම් හතරකින් යුතු සංඛ්‍යා 100ක් අඩු ම කාලයකින් එකතු කිරීමට සමත් ව තිබුණා. ඒ සඳහා ඔහු ගතකර තිබූ කාලය තත්පර 30.9ක්. එසේ ම ඉලක්කම් හතරකින් යුතු සංඛ්‍යා 200ක් මනෝමයෙන් එකතු කිරීමෙහි ලා ගත කළ අවම කාලය ද වාර්තා කළ ඔහු, ඒ වෙනුවෙන් ගතකොට තිබුණේ විනාඩියයි, තත්පර 9.68ක් බව ගිනස් ලෝක වර්තා සම්මේලනය සඳහන් කරනවා. ඉලක්කම් පහකින් යුතු සංඛ්‍යා 50ක එකතුව මනෝමයෙන් ලබා ගැනීමට ඔහු ගතකොට තිබුණේ තත්පර 18.71ක් පමණයි.

එසේ ම පිළිවෙළින් ඉලක්කම් පහකින් යුතු සංඛ්‍යා දෙකක් ගුණනය කිරීම සඳහා තත්පර 51.69ක් ද ඉලක්කම් අටකින් යුතු සංඛ්‍යා දෙකක් ගුණනය කිරීම සඳහා විනාඩි 2යි තත්පර 35.41ක් ද වැයකර තිබුණා. එසේ ම ඉලක්කම් විස්සක් සංඛ්‍යාවක්, ඉලක්කම් 10ක සංඛ්‍යාවකින් බෙදීම සඳහා විනාඩි 5යි තත්පර 42ක් වැය කර තිබුණා.

ආර්යන් මේ නව ගිනස් වාර්තා පිහිටුවීම සිදු කළේ ඩුබාහි පැවති ගිනස් ලෝක වාර්තා සම්මේලනය විසින් සංවිධානය කළ ඉසව්වක දීයි.

මේ ගිනස් වාර්තාවලට අමතර ව ඉකුත් වසරේ දී ඉලක්කම් පහකින් යුතු සංඛ්‍යා 50ක් අඩුම කාලයක දී මනෝමයෙන් එකතු කර ගිනස් වාර්තාවක් පිහිටුවීමට ද ඔහු සමත් ව තිබුණා. People සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු පවසා තිබුණේ තම සිත සන්සුන් ව තබාගැනීමට හා අවධාන ශක්තිය වැඩි කරගැනීමට යෝගා පුහුණුවීම්වල නිරත වීම උපකාරී වන බවයි. එසේ ම ඔහු දිනකට පැය පහත් හයත් අතර කාලයක් ගණිතමය අභ්‍යාසවල නිරත වන බව ද පවසනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications