Home Science News රුසියානු ආක්‍රමණට අතරතුර නැපෝලියන්ගේ හමුදාවට වැළඳුණු රෝග පිළිබඳ අධ්‍යයනයක්

රුසියානු ආක්‍රමණට අතරතුර නැපෝලියන්ගේ හමුදාවට වැළඳුණු රෝග පිළිබඳ අධ්‍යයනයක්

by Sathya

රුසියාවේ දී නැපෝලියන් බොනපාට්ගේ හමුදාව දේශගුණය දරාගත නොහී වේගයෙන් පසුබසින්නට වූ අතර හය ලක්ෂයක් ව පැවති සේනාව කුසගින්න සහ ලෙඩරෝග හේතුවෙන් ශීඝ්‍රෙයන් මරු වැළඳගත්තා. නවතම අධ්‍යයනයකින් මෙයට හේතු වූ ව්‍යාධිකාරක හඳුනාගන්නට පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.

1812 ජුනි මාසයේ නැපෝලියන්, සෙබළුන් 600,000කට ආසන්න හමුදාව සමඟ මොස්කව් ආක්‍රමණය කළේ සිය අධිරාජ්‍යය රුසියාව දක්වා ව්‍යාප්ත කිරීමටයි. කෙසේ නමුත් ඔවුන්ට හමු වූයේ ජනාකීර්ණ වූ නගරයක් නොව ජන ශුන්‍ය වූ හිම තලාවක්. සතුරාටත් වඩා සතුරු දේශයේ දේශගුණය දරුණු බව ඔවුන්ට වැටහීගියේ බොහෝ පමා වූවාට පසුවයි. ඔවුන් පසුබැස යාමට තීරණය කළත් ඒ වන විටත් සැලකිය යුතු හානියක් සිදු වී තිබුණා.

1812 ඔක්තෝබර් 19ත් 1812 දෙසැම්බර් 14 දක්වා කාලය තුළ නැපෝලියන් ප්‍රමුඛ හමුදාවට පියවාගත නො හැකි පාඩුවක් සිදු වුණා. කටුක දේශගුණය සහ ලෙඩ රෝග පැතිරීම හේතුවෙන් සෙබළුන් 300,000ක් පමණ – එනම් හරි අඩක් පමණ – මරු මුවට පත් වුණා.

bioRxiv හි පළ වූ අධ්‍යයනයකින් එහි කතුවරුන් පෙන්වා දෙන්නේ එකල විසූ වෛද්‍යවරයෙකු වන J.R.L de Kirckhoff විසින් රචිත ග්‍රන්ථයකින් මෙම සෙබළුන් හට වැළඳුණු රෝග පිළිබඳ තොරතුරු ඇතුළත් වන බවයි. ඔහු සිය ග්‍රන්ථයේ ටයිපස් උණ රෝගය පිළිබඳ විශේෂයෙන් සඳහන් කර ඇති අතර මෙම උණ රෝගය නැපෝලියන්ගේ හමුදාවට දැඩි බලපෑමක් කරන්නට ඇති බව පෙර සිට ම විශ්වාස කෙරුණා.

නවතම aDNA ක්‍රමෝපායන් යොදාගනිමින් පැරිස් සිටි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්, මියගිය සොල්දාදුවන්ගේ ලබාගෙන තිබූ සාම්පල යළි විශ්ල්ෂණයට භාජනය කළ අතර ඉන් නැපෝලියන්ගේ හමුදාවේ හුස්ම හිර කළ ව්‍යාධිකාරකයන් ගැන පළමු වරට ඍජු සාක්ෂි සොයාගෙන තිබෙනවා.

පර්යේෂකයන් මේ සඳහා යොදාගෙන තිබුණේ ලිතුවේනියාවේ විල්නියස්හි සමූහ මිනීවලක වළලා තිබූ සෙබළුන්ගේ දත් 13කින් ලබාගත් DNA සාම්පලයි. අධ්‍යයන වාර්තාවට අනුව එක් දතකින් කියැවීම් මිලියන 20ක පමණ ප්‍රමාණයක් ලබා ගැනීමට පර්යේෂකයන්ට හැකියාව ලැබී තිබුණා.

විශ්පේෂණය මඟින් පැරාටයිබොටිඩ් උණට හේතු වන Salmonella enterica සහ පුනරාවර්තී ටයිපස් උණට හේතු වන Borrelia recurrentis බැක්ටීරියාවන් එහි වූ බවට තහවුරු කරගනු ලැබුණා.

එසේ ම නිරාවරණය වූ ජලය සහ ආහාර මඟින් වැළඳෙන, ටයිෆොයිඩ් උණට සමාන සැප්මොනෙල්ලා රෝගයේ ලක්ෂණ ද ඉන් සොයාගැනුණා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications