ලෝක සිනමා ඉතිහාසයේ සුවිශේෂ මංසලකුණු කිහිපයක් ම සනිටුහන් කරමින් 2009 වසරේ දී පළමු වරට තිරගත වූ, ප්‍රකට හොලිවුඩ් සිනමාකරු ජේම්ස් කැමරන්ගේ Avatar චිත්‍රපටයේ අනුබන්ධය (sequel) Avatar : The way of water මුල් චිත්‍රපටය තිරගත වී අවුරුදු දහ තුනකට පසු ව එළැඹෙන දෙසැම්බර් 16 වැනි දා සිට ලොව පුරා තිරගත වීමට නියමිත ය. පළමු Avatar චිත්‍රපටය සඳහා එතෙක් සිනමාවෙහි භාවිත නො වූ නවීනතම දෘෂ්‍ය ප්‍රයෝග සහිත තාක්ෂණය යොදා ගන්නා ලද්දේ කෙසේ ද එහි දෙ වැන්න සඳහා ඊට ද වඩා වැඩි දියුණු කරන ලද තාක්ෂණික උපක්‍රම භාවිත කරනු ලැබී ඇති බව අමුතුවෙන් අනුමාන කිරීම අනවශ්‍ය ය. Avatar : The way of water මුලින් ම නැරඹූවන් අතරින් කෙනකු වන සම්මානනීය ස්පාඤ්ඤ ජාතික සිනමාකරු ගියෙර්මෝ ඩෙල් තෝරෝ පවසා ඇත්තේ, මෙය තමන් විසින් මෙතෙක් නරඹන ලද ඇදැහිය නොහැකි පරිමාණයේ දර්ශනවලින් යුතු විස්මය ජනක ම සිනමා වීර කාව්‍යය බව ය. පළමු Avatar චිත්‍රපටය මුලින් නැරඹූවන් අතරින් කෙනකු වූ ප්‍රකට සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග් ද එදා පැවසුවේ Starwars චිත්‍රපටවලින් පසු තමා නැරඹූ විස්මයජනක ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය Avatar බව ය. ඔහුගේ එම අදහස සැබෑවක් බව පසු ව ඔප්පු වූ අයුරින් ම ඩෙල් තෝරෝගේ අදහස ද සැබෑවක් බවට පත් වීමට ඇති ඉඩ ප්‍රස්ථාව බෙහෙවින් වැඩි බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙයින් විද්‍යා ප්‍රබන්ධ සිනමා රසිකයන්ට Avatar: The way of water චිත්‍රපටය ඉහළ ම රසාස්වාදයක් ලබා දෙන නිර්මාණයක් වනු ඇතැ යි බලාපොරොත්තු තබා ගත හැකි ය.
Avatar (2009)
Avatar පළමු චිත්‍රපටය ගිනස් වාර්තා පොතට ඇතුළත් ව ඇත්තේ ලෝක ඉතිහාසයේ වැඩි ම ආදයමක් ඉපැයූ චිත්‍රපටය ලෙස ය. එහි ආදායම ඩොලර් බිලියන තුනකට ආසන්න ය. වඩාත් නිවැරදි ව කියතොත් ඩොලර් බිලියන 2.923කි. ලෝක සිනමා ඉතිහාසයේ ඩොලර් බිලියන 2 ඉක්මවූ පළමු චිත්‍රපටය ද එය ය. ඊට අමතර ව 2010 වසරේ පවත්වන ලද 82 වැනි ඇකඩමි සම්මාන උලෙළේ දී Avatar චිත්‍රපටය සම්මාන නවයක් සඳහා නිර්දේශ විය. හොඳ ම චිත්‍රපටය හා හොඳ ම අධ්‍යක්ෂ යන නිර්දේශයන් ද ඊට ඇතුළත් විණි. ඒ අතරින් හොඳ ම කලා අධ්‍යක්ෂණය, හොඳ ම සිනමාකරණය හා හොඳ ම දෘෂ්‍ය ප්‍රයෝග සඳහා සම්මාන එයට හිමි වූයේ ය. එ මෙන් ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සඳහා පැවැත්වෙන සැටන් (Saturn Awards) සම්මාන උලෙළේ දී නිර්දේශ වූ සම්මාන දහය ම දිනා ගැනීමට Avatar චිත්‍රපටය සමත් විය. එහෙයින් බැලූ බැල්මට එය සාර්ථක චිත්‍රපටයකි. එහෙත් ඒ සාර්ථකත්වය ලෙහෙසියෙන් දිනා ගත්තක් නො වේ. එය නිර්මාණය කිරීමේ දී ජේම්ස් කැමරන් හා ඔහුගේ කණ්ඩායමට සෑහෙන අභියෝගවලට මුහුණ දීමට සිදු විය.
Avatar තිර රචනය ලිවීම සම්බන්ධයෙන් ජේම්ස් කැමරන් පවසා ඇත්තේ තමා කියවූ විද්‍යා ප්‍රබන්ධ කෘති හැම එකකින් ම එය සඳහා ආභාසය ලබා ගත් බවයි. එඩ්ගාර් රයිස් බරෝස්ගේ John Carter of Mars විද්‍යා ප්‍රබන්ධ කතා මාලාව මේ සඳහා විශේෂ උත්තේජනයක් සැපයූ බව ද ඔහු වෙසෙසින් සඳහන් කර ඇත. පෘථිවියෙන් පැමිණෙන මිනිසකු අඟහරු මත වාසය කරන ස්වදේශිකයන් වෙනුවෙන් සටන් වැදීමේ කතාන්දරයක් ඊට ද පාදක වී ඇති හෙයිනි.
22 වැනි සියවසේ දී තාරකාන්තර ගමන්වල යෙදෙන මිනිසුන් ඇල්ෆා සෙන්චුරි පද්ධතියේ යෝධ වායුග්‍රහයකුගේ චන්ද්‍රයකු වන Pandoraහි ජනාවාස සාදාගෙන Unobtanium නම් වටිනා ඛනිජ වර්ගයක් සොයමින්, එම ලෝකයේ ස්වාභාවික සම්පත් කොල්ලකෑමට සැරසෙද්දී, එහි වසන මනුෂ්‍යාකාර ස්වදේශිකයන් වූ නාවිවරුන් (Na’vi) සමග ඇති වන ගැටුම මෙහි මූලික ව නිරූපණය කෙරෙයි. එය එක්තරා ආකාරයකින් ස්පාඤ්ඤයන් සහ ඉංග්‍රීසින් ආදී යුරෝපීය ජාතීන් ඇමෙරිකානු මහද්වීපයට පය තැබූ පසු ඉන්කාවරුන් හා රතු ඉන්දියානුවන් ආදි ස්වදේශික ජන වර්ග යටපත් කර දමමින් ඔවුන්ගේ නිජ බිම් පැහැර ගත් අන්දමට සමාන සිදුවීමක් බව සමහර විචාරකයන්ගේ අදහසයි. එමෙන් ම මෙය තිරගත වීමට කලින් අමෙරිකා එක්සත් ජනපදය සාවද්‍ය හේතු දක්වමින් ඉරාකයට එරෙහි ව සිදු කළ ආක්‍රමණයට විරෝධය පළ කිරීමක් ද මෙමඟින් සිදු කෙරුණැ යි ද එ බැවින් මෙය අමෙරිකානු විරෝධී (Anti – American) චිත්‍රපටයකැ යි ද ඇතැම් විචාරකයෝ අදහස් දැක්වූ හ. මෙය සඳහා හොඳ ම චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය හිමි නො වීමට එය ද හේතුවක් විණැ යි ඇතැම් විචාරකයන් අතර අදහසක් පවතී.
පැන්ඩෝරාව තිරයේ ජීවමාන කිරීම
ජේම්ස් කැමරන් සිය තිරපිටපත ලියා අවසන් කළ පසු ව, තමාගේ සිතෙහි මැවුණු ඒ දුර ඈත තාරකාවක ගෑස් යෝධයකු (Gas giant) වටා පරිභ්‍රමණය වන ලෝකය ඒ ආකාරයෙන් ම තිරයේ මැවීම සඳහා අවශ්‍ය තාක්ෂණය වැඩි දියුණු කරමින් වසර ගණනාවක් ම ගත කෙළේ ය. තමා බලාපොරොත්තු වන දෘෂ්‍ය රූප සාම්ප්‍රදායික සිනමා කැමරා භාවිතයෙන් සලරුවට නැඟීම උගහට බව දැන සිටි ඔහු, වින්ස් පේස් සමග එක් වී 3D fusion camera system නමින් අලුත් ම කැමරා පද්ධතියක් නිර්මාණය කෙළේ ය. එ මෙන් ම මෙහි Na’vi ස්වදේශිකයන් හා පැන්ඩෝරාවේ වෙනත් සත්ත්වයන් නිර්මාණය කිරීම සඳහා Motion capture තාක්ෂණය තවත් වැඩි දියුණු කොට යොදාගෙන තිබේ. මේ චිත්‍රපටයේ ධාවන කාලයෙන් සියයට හැටක් ම පරිගණක මඟින් ජනනය කරන ලද දර්ශන (CGI)වලට වෙන් වී ඇත. එහෙයින් මෙය මූලික ව ම තාක්ෂණය මත පදනම් වූ චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි ය. Avatar චිත්‍රපටය මඟින් සිදු වුණු තවත් පෙරළියක් නම් කාලයක් යටපත් ව තිබුණු 3D තාක්ෂණය ඩිජිටල් ත්‍රිමානකරණය (Digital 3D) ලෙස දියුණු කොට යළිත් සිනමාව වෙත රැගෙන ඒම ය. එමඟින් සිනමාහල් වෙතින් ඈත් ව සිටි ප්‍රෙක්ෂකයන් නැවත සිනමාශාලා කරා අද්දවා ගැනීමට ද හැකි විය. ද
චිත්‍රපටය තුළ තාක්ෂණය
Avatar විද්‍යා ප්‍රබන්ධයක් බැවින් අනාගතයේ මිනිසා විසින් අත්පත් කරගනු ඇති විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව පිළිබඳ ව ද මෙහි පැවසේ. අන්තරීක්ෂ අභ්‍යාවකාශ ගමන්, බාහිර ලෝක කොලනිකරණය ආදි මීට පෙර ද සාකච්ඡා වී ඇති විද්‍යාත්මක සංකල්ප මෙන් ම ජාන ඉංජිනේරු විද්‍යාව උපකාරයෙන් සෑදූ බාහිර ජීවීන්ට මනුෂ්‍ය චෛතසිකය සම්ප්‍රේෂණය කිරීමේ ගූඪත්වයට බර සංකල්ප ගැන ද මෙහි දී සාකච්ඡා කෙරේ. චිත්‍රපටයේ නමට ද පාදක වී ඇත්තේ එම සංකල්පයයි. මෙහි දී පැන්ඩෝරාවේ Na’vi ස්වදේශිකයන්ගේ හා මනුෂ්‍යයන්ගේ ජාන සංයෝග කරමින් සාදන ලද avatar සිරුරුවලට මිනිස් චෛතසික ඇතුළු කොට දුරස්ථ පාලක සේ ඒවා ක්‍රියාත්මක කරන අන්දම අපට දක්නට ලැබේ.
ඊට අමතර ව ආශ්වාසයට නුසුදුසු වායුගෝලීය තත්ත්ව පවතින විට භාවිතයට ගත හැකි Exo -Packs නම් ඔක්සිජන් පෙරහන් පද්ධති, Stem cell neuroregeneration යන දියුණු වෛද්‍ය ක්‍රම මඟින් ආඝාත රෝග තත්ත්ව සුව කිරීම හා දුෂ්කර භූ විෂමතා හා පරිසර තත්ත්ව යටතේ මනුෂ්‍යයන්ට පහසුවෙන් ගමන් කිරීමට උපකාර කරන AMP suits ආදිය ද ප්‍රෙක්ෂකයන්ට දැක ගැනීමට ලැබේ.
පාරිසරික තේමාව
Avatar චිත්‍රපටයේ සාකච්ඡා කෙරෙන තේමා අතරින් ඇතැම් විට වඩාත් වැදගත් ම ලෙස ගිණිය හැක්කේ ස්වාභාවික පරිසරය හා සහජීවනයෙන් ජීවත් වීමේ තේමාව විය හැකි ය. ස්වාභාවික සම්පත් අසීමාන්තික ලෙස පරිභෝජනය කිරීම මඟින් පරිසරයට කරන ලද හානිය නිසා 22 වැනි සියවසේ දී පෘථිවිය ජීවත් වීමට නොහැකි තත්ත්වයට පත් වී තබීම ගැන චිත්‍රපටය ආරම්භයේ දී ම කියැවෙයි. ඊට පසු ව අපට පැන්ඩෝරාහි දී දක්නට ලැබෙන්නේ ද මනුෂ්‍යයන් එහි ස්වාභාවික පරිසරය ගැන නො සලකා එහි ඇති සම්පත් කොල්ලකෑමට දරන වෑයමකි. පැන්ඩෝරාවේ Na’vi ස්වදේශිකයන් වෙතින් අපට දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ චර්යාවකි. ඔවුහු තමන් වාසය කරන පරිසරයේ ම කොටසක් බඳු ව එහි වසන සියලු ම ජීවීන් සමග සහජීවනයෙන් ජීවත් වෙති. තමන්ට රැකෙන්නට හැක්කේ ස්වාභාවික පරිසරය රැකුණොත් පමණක් බව ඔවුහු අදහති. සැබැවින් ම කියතොත් අපගේ මුතුන් මිත්තන්ගේ ජීවන ක්‍රමය ද ඊට වෙනස් එකක් නො විණි. කාර්මික විප්ලවයත් සමග එය වෙනස් වෙන්නට ගත්තේ මනුෂ්‍ය වර්ගයාට යහපත් මෙන් ම අයහපත් විපාක ද අත් කර දෙමිනි. පෘථිවියේ ජනගහනය පෙර නො වූ විරූ සංඛ්‍යාවකට වර්ධනය වී ඇති වර්තමානයේ, ඊට අනුරූප ව ඉහළ යන මනුෂ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම හා ස්වාභාවික පරිසරය සමඟ සහජීවනය නො බිඳ පවත්වා ගැනීම යන අභියෝගය පිළිබඳ අප ද මීට වඩා සිතිය යුතු බව මේ සිනමාපටය නරඹද්දී කෙනෙකු තුළ හැඟීමක් ඇති වුව හොත් පුදුමයක් නො වේ.
Avatar: The way of water
පෙර පවසන ලද ආකාරයෙන් ම Avatar චිත්‍රපටයේ අනුබන්ධය සිනමාශාලා කරා මුල් චිත්‍රපටය තිරගත වීමෙන් අවුරුදු දහ තුනකට පසු ව ය. ඊට මූලික හේතුව වූයේ මේ චිත්‍රපටය නිපදවීමට අවශ්‍ය තාක්ෂණය මුල් චිත්‍රපටයට ද වඩා දියුණු කිරීමට එහි අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්ට අවශ්‍ය වූ හෙයිනි. මෙහි දී දිය යට රූපගත කිරීම් සඳහා Performance capture නම් තාක්ෂණයක් භාවිත කොට තිබේ. එය පෙර පැවැති
Motion capture තාක්ෂණය තව දුරටත් දියුණු කිරීමෙන් සාදා ගන්නා ලද්දකි. තව ද මේ චිත්‍රපටය සඳහා පැන්ඩෝරාවේ සාගර පසුබිම් කර ගැනීමට තීරණය කරන ලද්දේ එමඟින් අපගේ සාගරවල වැදගත්කම ද සාමුද්‍රික පරිසරය ආරක්ෂා කරගැනීමේ පණිවිඩය ද ප්‍රේක්ෂකයා වෙත ගෙන යෑමේ අරමුණ සහිත ව බව ජේම්ස් කැමරන් සඳහන් කර ඇත. එ බැවින් Avatar : The way of water ද එහි පළමු චිත්‍රපටය මෙන් ප්‍රේක්ෂකයාට රසාස්වාදයට අමතර ව සිතීමට යමක් ද ලබා දෙනු ඇතැ යි බලාපොරොත්තු තබාගත හැකි ය.
ප්‍රභාත් මිරිහාගල්ල