Home FeaturesFuture හැට පැන්නත් හඳට යා හැකියි!

හැට පැන්නත් හඳට යා හැකියි!

by cmadurawala

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය පළමු පෞද්ගලික අභ්‍යවකාශගාමියා නැවත අභ්‍යවකාශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින පුවතක් පසුගියදා අසන්නට ලැබිණ. මෙවර ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ සඳ වටා යන අභ්‍යවකාශ චාරිකාවකට එක් වීම වන අතර ඒ සඳහා සිය බිරිඳ ද සමඟ තවත් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් එක් කර ගැනීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියි. ඔහු පවසා ඇත්තේ මේ ඔහුගේ අවසන් අභ්‍යවකාශ චාරිකාව බවයි.

මේ වන විට 82 වැනි වියේ පසු වන හෙතෙම නමින් ඩෙනිස් ටිටෝ (Dennis Tito) ය. රුසියානු සෝයුස් යානයක නැගී වර්ෂ 2001 අප්‍රියෙල් මාසයේ දී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පියාසර කළ හෙතෙම ලොව පළමු පෞද්ගලික අභ්‍යවකාශගාමියා මෙන් ම එවන් ගමනක් වෙනුවෙන් තමන් ම මුදල් ගෙවූ පළමු වැන්නා බවට ද පත් විය. එහි දි ඔහු දින 8 ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටියේ ය.

මෙවර ඔහු සැරසෙන්නේ Space X  ආයතනයේ Starship යානයක නැගී සඳ වටා රවුමක් යන්නට ය. ඒ තනිවම නොව සිය බිරිඳ වන අකිකො ටිටෝ (Akiko Tito) සහ තවමත් තීරණය කොට නොමැති දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග ය. මේ සඳහා වන ටිකට්පත් දැනටමත් ඔහු විසින් මිල දී ගෙන ඇති අතර මෙය සඳ මත ගොඩ බෑමේ මෙහෙයුමක් නොව සඳ වටා ගොස් නැවත පොළොවට පැමිණීමේ අභ්‍යවකාශ චාරිකාවක් පමණි. එහි දී Starship යානය සඳ මතුපිටට කි.මී. 200 ක් පමණ ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතය. සම්පූර්ණ චාරිකාව සඳහා සතියක පමණ කාලයක් ගත වෙතැයි අනුමාන කෙරේ. කෙසේ වෙතත් මෙය සැලකෙන්නේ සඳ වටා යන දෙවන Starship චාරිකාව ලෙසයි. එයට හේතුව Space X ආයතනයේ පළමු වැනි සඳ වටා ගමන වෙන් කර ගෙන ඇත්තේ ජපන් ජාතික බිලියනපතියෙකු වන යසකු මෙසාවා (Yusaku Maezawa) විසින් වීමයි. ඒ වර්ෂ 2018 දීයි. එය නම් කර ඇත්තේ DearMoon මෙහෙයුම ලෙසයි.

කෙසේ වෙතත් තවමත් සිය මංගල කක්ෂීය ගමන හෝ සම්පූර්ණ කර නොමැති Starship යානයට මිනිසුන් සහිත චාරිකාවක් සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට තවත් සෑහෙන කාලයක් ගත වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් බොකාචිකා හි පිහිටි Starbase පරිශ්‍රයේ දී මේ වන විට අංක 24 දරන Starship යානය මෙන් ම අංක 7 දරන බූස්ටරය ද සිය පළමු කක්ෂීය පියාසැරිය අපේක්ෂාවෙන් බලා සිටී. ඉලොන් මස්ක් පවසා ඇත්තේ එය බොහෝ විට මේ මස අවසන් වීමට පෙර සිදු නොවුණ හොහොත් නිසැකවම නොවැම්බර් මස තුළ සිදු වනු ඇති බවයි.

තරුසර
සන්සරසිදු

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications