මිනිසුන් අභ්‍යවකාශයට යැවීම අතිශයින් ම දුෂ්කර සහ භයානක දෙයක් බවට කිසිදු විවාදයක් නැහැ. මීට වසර 60කට ඉහත දී මානව අභ්‍යවකාශ ගවේෂණය ආරම්භ වූ දා සිට පුද්ගලයින් 20කට අධික පිරිසක් අභ්‍යවකාශ ගවේෂණවලදී මියගොස් තිබෙනවා (1986 සිට 2003 දක්වා නාසා අභ්‍යවකාශ ෂටල ඛේදවාචකවලින් 14 දෙනෙක්, 1971 Soyuz 11 මෙහෙයුමේ දී තිදෙනෙක් සහ 1967 Apollo 1 මෙහෙයුමේ දී තිදෙනෙක් වශයෙන්). මෙවැනි සංකීර්ණ කටයුත්තකදී මේ තරම් ස්වල්ප දෙනෙකුට පමණක් ජීවිත අහිමි වීම පවා සතුටට කරුණක්.
මේ අතර නාසා ආයතනයේ සැලසුම වන්නේ 2025දී සඳ වෙත සහ ඉදිරි දශකය තුළ දී අඟහරු වෙත තවත් ගගනගාමීන් පිරිසක් යවන්නටයි. අභ්‍යවකාශ ගමන් සුලභ වන විට ගගනගාමීන් අභ්‍යවකාශයේදී මියයන්නට ඇති සම්භාවිතාවත් වැඩි වෙනවා. ඉතින් එවැනි මරණයක් සිදුවුවහොත් මියගිය ගගනගාමියාගේ සිරුරට සිදුවන්නේ කුමක්ද?
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැනි පහල පෘථිවි කක්ෂ මෙහෙයුමක දී යමෙක් මියගියොත් කාර්ය මණ්ඩලයට පැය කිහිපයක් ඇතුළත මළ සිරුර කැප්සියුලයකින් පෘථිවියට ගෙන ආ හැකියි. එවැනි මරණයක් සඳ මත සිදුවුවහොත් කාර්ය මණ්ඩලයට දින කිහිපයක් ඇතුළත මළ සිරුර ආපසු පෘථිවියට ගෙන ආ හැකියි. නාසා ආයතනය දැනටමත් එවැනි සිදුවීම් වෙනුවෙන් සවිස්තරාත්මක ප්‍රොටොකෝල හඳුන්වා දී තිබෙනවා.
මෙවැනි අවස්ථාවක දී ඉක්මණින් පෘථිවියට නැවත පැමිණිය හැකි නිසා නාසා ආයතනයේ ප්‍රධාන සැලකිල්ල හිමි වන්නේ මළ සිරුර සංරක්ෂණය කිරීමට නොවෙයි. ඔවුන්ගේ ප්‍රමුඛතාව හිමිවන්නේ යානයේ ඉතිරි කාර්ය මණ්ඩලය ආරක්ෂිත ව යළි පෘථිවියට පැමිණීම සහතික කිරීමටයි.
කෙසේ වෙතත් අඟහරු වෙත යන සැතපුම් මිලියන 300ක ගමනේ දී ගගනගාමියෙක් මියගියහොත් මේ තත්ත්වය වෙනස් වනු ඇති. එවැනි තත්ත්වයක් තුළ යානයේ කාර්ය මණ්ඩලයට ආපසු හැරී එන්නට නොහැකි නිසා මළ සිරුර නැවත පෘථිවියට රැගෙන එන්නට සිදුවන්නේ ආරම්භ කළ මෙහෙයුම අවසන් කිරීමෙන් අනතුරුවයි. බොහෝ විට ඒ සඳහා වසර කිහිපයක කාලයක් ගතවිය හැකියි. මේ කාලය තුළ යානයේ කාර්ය මණ්ඩලයට මෘත ශරීරය වෙන ම කුටියක හෝ විශේෂිත බෑගයක තබාගැනීමට සිදුවන අතර අභ්‍යවකාශ යානය තුළ ඇති ස්ථාවර උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය මළ සිරුර ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.
නමුත් මෙය වලංගු වන්නේ වන්නේ ගගනගාමියෙක් අභ්‍යවකාශ යානයක් හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තුළදී මියගියහොත් පමණයි.
අභ්‍යවකාශ ඇඳුමක් පැළඳීමෙන් තොර ව යමෙක් අභ්‍යවකාශය වෙත ගියොත් ක්ෂණික ව මිය යනු ඇති. පීඩනය අඩු වීම හා අභ්‍යවකාශයේදී හුස්ම ගැනීමට නොහැකි වීම මෙන්ම රුධිරය ඇතුළු අනෙකුත් ශරීර තරල උණු වීම ඊට හේතු වන්නට පුළුවන්. මීට අමතර ව අඟහරු මත දී විකිරණ සහ විෂ රසායන නිසා ගගනගාමියෙක් මිය යන්නට පුළුවන්. මෙවැනි මරණයකින් පසු ව කළ හැක්කේ කුමක්ද?
ගගනගාමියෙක් අඟහරු මත දී මිය ගියහොත් භූමදානය සුදුසු වන්නේ නැහැ. ඊට එක් හේතුවක් වන්නේ දිවි ගලවාගත් කාර්ය මණ්ඩලයට අනෙකුත් කටයුතු සඳහා සැලකිය යුතු ශක්තියක් අවශ්‍ය වීමයි. එමෙන් ම මළ සිරුරේ ඇති බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍රජීවීන් අඟහරු වැනි පෘෂ්ඨ මතුපිට දූෂණය කළ හැකි වීමයි. මේ නිසා වඩාත් සුදුසු වන්නේ මළ සිරුර යානය තුළ ඇති විශේෂිත බෑගයක් තුළ බහාලීමයි.
එහෙත් තවමත් අභ්‍යවකාශයේ දී සිදුවන මරණයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගවේෂකය- න්ට පූර්ණ අවබෝධයක් නෑ. මළ සිරුර ආරක්ෂිතව සංරක්ෂණය කොට යළි පෘථිවියට ගෙන ඒම මෙන් ම ගගනගාමියෙකු අහිමි වීම හමුවේ අනෙකුත් කාර්ය මණ්ඩලයට උපකාර කිරීමත් මිය ගිය ගගනගාමියාගේ ආදරණීයයන් අස්වැසීමත් මෙහිදී ඉතා වැදගත්.
තරුෂි කෞෂාණි