ශ්‍රී ලංකාව තුළ යම් පසුගාමී තත්ත්වයක් පෙනෙන්නට තිබුණත්, ගෝලීය මට්ටමින් බලන විට විද්‍යා ප්‍රබන්ධ ශානරය පුළුල් ලෙස වර්ධනය වෙමින් ද පරිණාමයට ලක් වෙමින් ද පවතින බව පෙනෙනවා. වසරකට ලොව පළ වන අති මහත් සංඛ්‍යාත විද්‍යා ප්‍රබන්ධාත්මක ලිඛිත නිර්මාණ ඇගයීම එකී ශානරයේ චිරස්ථිතිය උදෙසා තීරණාත්මක ලෙස බලපවත්නා බව අවිවාදිතයි. මේ අතරින් විද්‍යා ප්‍රබන්ධාත්මක සහ ෆැන්ටසිමය කතා සඳහා වසරක් පාසා පිරිනැමෙන හියුගෝ සම්මානය කැපී පෙනෙනවා. විද්‍යා ප්‍රබන්ධ සඟරා සංස්කෘතියේ පුරෝගාමියෙකු වූ Amazing Stories සඟරාවේ නිර්මාතෘ හියුගෝ ගර්න්ස්බැක්ට ගෞරව පිණිස 1953 වසරේ සිට අද දක්වා ගෝලීය මට්ටමෙන් පිරිනැමෙන හියුගෝ සම්මානය පාඨකයන් මෙන් ම ලේඛකයන් අතර ද ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. කෙසේ නමුත් පසුගිය වසරේ චීනයේ Chengdu නුවර පැවැත්වුණ හියුගෝ සම්මාන ප්‍රදානයට අදාළ ව ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් සමස්ත සම්මාන ප්‍රදානයේ ප්‍රතිරූපය අපකීර්තියට ලක් වීමේ අවදානමක් ඉස් මතු වී තිබෙනවා.
ඉකුත් ජනවාරියේ හියුගෝ සම්මාන කමිටුව විසින් පසුගිය වසරේ සම්මාන උළෙල සඳහා නිර්දේශ වූ ලේඛකයන්ගේ ලයිස්තුව ප්‍රසිද්ධියට පත් කොට තිබුණා. ඒ එක් එක් නිර්මාණය සඳහා හිමි ව තිබූ ඡන්ද ප්‍රමාණය ද සමගයි. විමසුම් දෑසින් එය කියැවූ අයට පෙනී ගොස් තිබුණේ අවසන් වටය සඳහා නිර්දේශ වීමට තරම් පාඨක ඡන්ද සංඛ්‍යාවක් දිනා සිටි ඇතැම් ලේඛකයන්ගේ නම් ඉදිරියේ නිශ්චිත හේතු දැක්වීමකින් තොර ව ම ‘සුදුසුකම් නො ලබන’ බවට සලකුණු කර ඇති බවයි.
මෙලෙස අවසන් වටය සඳහා සුදුසුකම් ලබා තිබුණත් නො සලකා හරින ලද නිර්මාණ අතර, සම්මානය දිනා ගනු ඇති බවට බොහෝ දෙනා මත පළ කර තිබූ R.F. Kuang නම් චීන සම්භවයක් සහිත ඇමරිකානු ලේඛිකාවගේ “Babel” නම් නවකතාව ද ඇතුළත් ව තිබුණා. චීනයේ මෙන් ම ලෝකයේ ද ප්‍රථම අධිරාජිනිය වන Wu Zetianගේ පාලන සමය තුළ සිදු වන උපකල්පිත පිටසක්වළ ආක්‍රමණයක් අළලා චීන – කැනේඩියානු ලේඛක Xiran Jay Zhao විසින් රචිත “Iron Widow” අනුකල්පිත ඉතිහාස යොවුන් නවකතාවට ද අත් ව තිබුණේ එම සන්තෑසිය ම යි.
චීන සම්භවයක් ඇති ලේඛකයන්ගේ නිර්මාණ හලා දමා ඇති බව පෙනී යාම නිසා එය චීනයේ ම අභිමතය පරිදි සිදු වූවක් ය යන සැකය ඉස්මතු වන්නට පටන්ගෙන තිබුණා. හියුගෝ සම්මාන ප්‍රදානය සඳහා වෙන්කරගත් ස්ථිර ස්ථානයක් නැහැ. ඉතිහාසය පුරා එය විවිධ නගරවල පවත්වා තිබෙනවා. 2023 වසරේ උළෙල පැවැත්වීම සඳහා තෝරාගෙන තිබුණේ චීනයේ චෙංඩු (Chengdu) නගරයයි.
චීන ලේඛකයන් අතින් ලියැවෙන අතිවිශ්ෂ්ට ගණයේ විද්‍යා ප්‍රබන්ධ ඉංග්‍රීසි බසට පෙරළීමත් සමග ලොව පුරා එක්තරා උන්මාදයක් ඇති වී තිබෙනවා. සිෂින් ලියු වැනි ලේඛකයන් බිහි කළThe Wandering Earth වැනි නිර්මාණ එයට නිදසුන් සපයනවා. ඒ කෙසේ වෙතත් චීනය සිය බලපරාක්‍රමය අභියෝගයට ලක් කෙරෙන ආකාරයේ ප්‍රකාශයන් රුස්සන්නේ නැති බව රහසක් නො වෙයි. එසේ ම බටහිර රටවල පදිංචි ව සිටින චීන සම්භවයක් සහිත ලේඛකයන්ගේ නිර්මාණවල චීන ආණ්ඩුක්‍රමය ගැන විවේචනාත්මක අදහස් කැටි ව තිබීම නො වැළැක්විය හැකියි. මේ නිසා ම චීන බලධාරීන් එවැනි ආකාරයේ අදහස් දරන කෘතීන් පෙරා ඉවත් කිරීමට බලපෑම් කර ඇති බවට සාධාරණ සැකයක් ඇති වී තිබුණා.
ලෝ වටා විද්‍යා ප්‍රබන්ධ පාඨක සිත් දෙදරුම් කවමින් එය තවදුරටත් සැකයක් පමණක් නො වන තහවුරු වූයේ පසුගිය වසරේ හියුගෝ සම්මාන පරිපාලන කමිටුවේ සාමාජිකාවක ලෙස කටයුතු කළ Diane Lacey සහ වෙනත් කමිටු සාමාජිකයන් අතර වූ ඊමේල් සංවාදයක් ඇය විසින් ම ලෝකයා හමුවේ තැබීමත් සමගයි. එයට අනුව හියුගෝ සම්මාන උළෙලේ පරිපාලකවරයෙකු වන Dave McCarty අනෙකුත් සාමාජිකයන්ට උපදෙස් ලබා දී ඇත්තේ නිර්දේශිත කෘතිවල චීනයේ “දේශපාලනය පිළිබඳ සංවේදී තොරතුරු” රැගත් තැන් වේ නම් ‘හයිලයිට්’ කර දක්වන ලෙසයි. එසේ ම චීනය, තායිවානය මෙන් ම ටිබෙටය පසුබිම් කරගනිමින් විවේචනාත්මක දෘෂ්ටිකෝණයක් සහිත ව ලියැ වී ඇති නිර්මාණ වේ නම් ඒවා අවසන් වටය සඳහා නිර්දේශ නො කරන ලෙසට ද ඔහු දැනුම් දී තිබෙනවා.
මේ සිදු වීම අළලා වාර්තාවක් සම්පාදනය කරමින් විද්‍යා ප්‍රබන්ධ ලෝලියෙකු මෙන් ම ජනමාධ්‍යවේදියෙකු ද වන Chris M. Barkley අවධාරණය කරන්නේ මෙම සිදු වීම සම්මාන ප්‍රදානයේ ඇති හරාත්මක ආචාර ධර්ම පද්ධතිය බින්දුවට ඇද දමන බවයි. විද්‍යා ප්‍රබන්ධය සෑම විට ම ප්‍රකාශනයේ නිදහස ඉහළින් පිළිගන්නා ශානරයක්. එවන් ශානරයක් තුළ දේශපාලනයේ ඇති ගැටලු විශ්ලේෂණය කරමින් නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයන් අතරමඟ දී දවා හැරීම සිත් කලකිරවන්නක් බව පවසනවා.
“රජය පිළිබඳ දරන මතය අනුව පුද්ගලයන් නිහඬ කිරීම ම විද්‍යා ප්‍රබන්ධය නම් සංකල්පයට පටහැනියි.” මින් පෙර තුන් වතාවක් සම්මානයට නිර්දේශ වී මෙවර නො සලකා හැරුණු ප්‍රවීණ විද්‍යා ප්‍රබන්ධ ලේඛක Paul Weimer සඳහන් කරනවා.
ලොව පුරා විද්‍යා ප්‍රබන්ධ ලෝලීන් තබා ඇති විශ්වාසයට හානි නො වන පරිදි, විනිවිද භාවයකින් යුතු ව මෙවර සම්මාන ප්‍රදානය සිදු කරන බව සිදු වීමට ප්‍රතිචාර දක්වමින් 2024 හියුගෝ පරිපාලක කමිටු මණ්ඩලය සඳහන් කරනවා.
විද්‍යා ප්‍රබන්ධය මිනිස් ශිෂ්ටාචාරය පරිකල්පනය ඔස්සේ අනාගතය වෙත ගෙන යන පාලමක් වැනියි. විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා හඳ මත පා තැබුවේ නීල් ආම්ස්ට්‍රෝංග්ටත් සියවසකට පෙරාතුවයි. තාක්ෂණය ඔස්සේ පැන නඟින ප්‍රවණතා ගව් ගණනක් කල් තියා පුරෝකතනය කරමින් ඒවායේ ලැබෙන ප්‍රතිලාභ සාහිත්‍යමය වටපිටාවක් තුළ මවා පානා ඉන්ද්‍රජාලිකයෙකු ලෙසත්, ඒවා අවරගණය වෙත ඇදී යාමේ උවදුර පෙන්වා දෙන අනතුරු අඟවන්නෙකු ලෙසත් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා හඳුන්වා දිය හැකියි. ඔහු හෝ ඇය දේශපාලනයේ පාදඩ නිය පහුරෙන් අල්ලා මිරිකා දැමිය නො හැකි බව තහවුරු කිරීමට මෙය ද කදිම අවස්ථාවක් වනවාට සැකයක් නැහැ.
සත්‍ය හෙට්ටිආරච්චි