Home Features වොලස් රේඛාවේ අබිරහස විසඳෙයි

වොලස් රේඛාවේ අබිරහස විසඳෙයි

by Sathya

ඉංග්‍රීසි ජාතික විද්‍යඥ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් ලොව කීර්තිමත් ව ඇත්තේ ප්‍රධාන කරුණු තුනක් හේතුවෙනි. ඉන් පළමුවැන්න චාල්ස් ඩාවින්ට සමකාලීන ව හා ස්වාධීන ව ඔහු විසින් ජෛව පරිණාමීය යාන්ත්‍රණය පැහැදිලි කරන ස්වාභාවික වරණ ක්‍රියාවලිය පිළිබඳ සංකල්පය සංවර්ධනය කිරීම ය. ඔහු ජෛව භූගෝල විද්‍යාවේ පියා (Father of Biogeography) යන විරුදාවලිය ලැබීම දෙවැනි කරුණයි. තුන්වැන්න ඔහුගේ නමින් ප්‍රචලිත ව ඇති වොලස් රේඛාව (Wallace Line) ලොවට හඳුන්වා දීම ය.

ඇල්ෆ්‍රඩ් රසල් වොලස්

වොලස් රේඛාව

වොලස් රේඛාව යනු ඉන්දුනීසියානු දූපත් සමූහයෙහි සත්ත්ව විශේෂ අතර නිරීක්ෂණය කළ අසමමිතික භූගෝලීය ව්‍යාප්තිය පදනම් කර ඒවා පැහැදිලි ජෛව භූගෝලීය කලාප දෙකකට
වෙන් කරමින් වොලස් විසින් 1863 වසරේ දී අඳින ලද කල්පිත පරිණාමීය රේඛාවකි. 1868
වසරේ දී මේ රේඛාව වොලස් රේඛාව ලෙස නම් කරනු ලැබුවේ ඉංග්‍රීසි ජාතික විද්‍යාඥ
තෝමස් හෙන්රි හක්ස්ලි විසිනි.

බෝර්නියෝ සහ සුලවෙසි යන විශාල දූපත් දෙක වෙන් කරන මකසාර් සමුද්‍ර සන්ධිය මැදින් පහළට දිවෙන වොලස් රේඛාව අනතුරුව ජාවා දූපතට නැගෙනහිරින් පිහිටි කුඩා දූපත් යුගලය වන බාලි සහ ලොම්බොක් වෙන් කරන කිලෝ මීටර් 35 ක් තරම් පටු ජල තීරයක් වන ලොම්බොක් සමුද්‍ර සන්ධිය මැදින් පහළට වැටී තිබේ.

වොලස් රේඛාවේ අබිරහස

ඉන්දුනීසියානු දූපත් ද ඇතුළත් වන මලයානු දූපත් සමූහයට අයත් 25,000 කට අධික දූපත් ගණනක් අතරින් දිවෙන වොලස් රේඛාව දෙපස පවතින අසමමිතික සත්ත්ව ව්‍යාප්තියට හේතුව මෑතක් වන තෙක් ම විද්‍යාඥයින්ට අබිරහසක් විය.

මේ රේඛාවට බටහිරින් ඇති බාලි, ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ ඇතුළු දූපත්වල සතුන්ගේ ආසියානු සම්භවයක් ද, එයට නැගෙනහිරින් පිහිටි ලොම්බොක්, සුලවෙසි, නිව් ගිනියා, සුම්බාවා ඇතුළු දූපත්වල සතුන්ගේ ඕස්ට්‍රලේසියානු සම්භවයක් ද ඇති බව වොලස් විසින් පැහැදිලි ව නිරීක්ෂණය කරන ලදී. ඕස්ට්‍රේලියානු ජාතික සරසවියේ පරිණාමීය ජීව විද්‍යාඥ ඇලෙක්ස් ස්කීල්ස් මෙසේ පවසයි.

“ඔබ බෝර්නියෝවලට ගියොත් එහි සේපාටික ක්ෂීරපායීන් කිසිවෙක් ඔබට දකින්න
ලැබෙන්නෙ නැහැ. එහෙත් ආසන්න දූපත වන සුලවෙසිවල ඔබට ඔවුන් දැකගත හැකියි. ඒ වගෙම ආසියාවේ දැකිය හැකි වලසුන්, ව්‍යාඝ්‍රයන් සහ රයිනෝසිරස් වැනි කලල බන්ධධාරී දියුණු ක්ෂීරපායීන් ඔබට ඕස්ට්‍රේලියාවෙදි හමුවන්නේ නැහැ.”

මේ අනුව ඕස්ට්‍රේලියාවේ වෙසෙන කැන්ගරු හා කොආලා වැනි කලල බන්ධ රහිත ව පැටවුන් බිහි කරන සේපාටික ක්ෂීරපායීන් මෙන් ම බිත්තර දමන තාරාහොට ප්ලැටිපස් හා එකිඩ්නා වැනි පරිණාමීය ව නො දියුණු ක්ෂීරපායීන් බෝර්නියෝ, සුමාත්‍රා, ජාවා, බාලි ඇතුළු වොලස් රේඛාවෙන් බටහිර පිහිටි දූපත්වල දක්නට නොමැත. පියෑඹිය නො හැකි පක්ෂියෙකු වන කැසවරි පක්ෂියා උතුරු ඕස්ට්‍රේලියාව සහ නිව් ගිනියාව වැනි වොලස් රේඛාවෙන් නැඟෙනහිර පිහිටි දූපත් කීපයකට පමණක් සීමා වී ඇත.

අනෙක් අතට දැනට ලොව වෙසෙන ව්‍යාඝ්‍ර උප විශේෂ හයෙන් කුඩාතමයා වන සුමාත්‍රානු ව්‍යාඝ්‍රයා සුමාත්‍රා දූපතේ පමණක් වෙසේ. මේ වන විට වඳ වී ගොස් ඇති ව්‍යාඝ්‍ර උප විශේෂ 2ක් වන ජාවා ව්‍යාඝ්‍රයා ජාවා දූපතේ පමණක් ද, බාලි ව්‍යාඝ්‍රයා බාලි දූපතේ පමණක් ද වාසය කර තිබේ.

වොලස් රේඛාව වැටී ඇති කිලෝ මීටර් 35 ක ජල බාධකය මඟින් බාලි දූපතෙන් වෙන් වී නැඟෙනහිරින් පිහිටි ලොම්බොක් දූපතේ පවා බාලි ව්‍යාඝ්‍රයා කිසි කලෙක වාසය කර නොමැත.

ආසියානු සත්ත්ව විශේෂ සමහරකට වොලස් රේඛාව හරහා සාර්ථක ලෙස එක් දිශාවකට එනම් නැගෙනහිර දෙසට ගමන් කිරීමට ඉඩ ලැබුණ ද, ඕස්ට්‍රේලියානු සත්ත්ව විශේෂ කිසිවක් ඊට විරුද්ධ අතට සංක්‍රමණය වීම වැළකී තිබීමට හේතුව අපැහැදිලි ව තිබුණි.

අබිරහස විසඳෙයි

වොලස් රේඛාව ලකුණු කර වසර 160 කට පසු 2023 වසරේ Nature ජර්නලයේ පළ කර තිබෙන නවතම වාර්තාවකින් මෙකී අසමමිතිකත්වයට හේතුව පැහැදිලි කොට තිබේ. මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියානු ජාතික සරසවියේ සහ ස්විට්සර්ලන්තයේ සූරික් හි ETH තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසිනි.

ඉහත අධ්‍යයන වාර්තාවට අනුව මීට වසර මිලියන 35 කට ඉහත දී ඕස්ට්‍රේලියාව අදටත් වඩා දකුණු දෙසට වන්නට ඇන්ටාක්ටිකාව සමග සම්බන්ධ ව පිහිටා තිබුණි.

එහෙත් පෘථිවි භූ ඉතිහාසයේ එක්තරා මොහොතක ඕස්ට්‍රේලියාව ඇන්ටාක්ටිකාවෙන් වෙන් වී උතුරු දිශාවට ප්ලාවිත වෙමින් ආසියාව වෙත කඩා වැදුණි. මෙම සංඝට්ටනයෙන් වර්තමානයේ ඉන්දුනීසියාව ලෙස හඳුන්වන යමහල් දූපත් සමූහය නිර්මාණය විය.

Antarctic Circumpolar Current

එහෙත් ඕස්ට්‍රේලියාව ඇන්ටාක්ටිකාවෙන් ඉවතට චලනය වූ විට ඒ විවරය තුළින් Antarctic
Circumpolar Current නමින් වර්තමානයේ හඳුන්වන ගැඹුරු සාගර ප්‍රවාහය නිර්මාණය විය. පෘථිවියේ දේශගුණය වඩාත් ශීත කිරීමට හේතු වූ මේ සාගර ප්‍රවාහය (දියවැල) අදටත් ලොව දේශගුණය කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකයක් මෙන් ම ලොව විශාල ම සාගර ප්‍රවාහය ද වෙයි.

එය නිර්මාණය වීමෙන් අග්නිදිග ආසියාව සහ අලුතෙන් බිහි වූ මලයානු දූපත් සමූහය ඕස්ට්‍රේලියාවට වඩා උණුසුම් හා තෙත් දේශගුණයක් සහිත වූ අතර ඕස්ට්‍රේලියාවේ ශීත හා වියලි දේශගුණයක් පැවතුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස උණුසුම් හා තෙත් දේශගුණයට හොඳින් අනුවර්තනය වූ ආසියානු සත්ත්ව විශේෂ හා ශාක විශේෂ සමහරකට නිව් ගිනියාව හා ඕස්ට්‍රේලියාව දෙසට සාර්ථක ලෙස සංක්‍රමණය වීමට මලයානු දූපත් පඩි පෙළක් මෙන් ක්‍රියා කරන ලදී.

එහෙත් ඕස්ටේ්‍රලියානු සත්ත්ව විශේෂ ශීත හා වියලි දේශගුණයක් තුළ පරිණාමය වීම නිසා ම ඔවුනට බටහිර දෙසින් පිහිටි ආසියානු පාර්ශ්වය දෙසට සාර්ථක ව සංක්‍රමණය වීමට නො හැකි විය.

මේ නවතම අනාවරණය නිසා අදින් වසර 160 කට ඉහත ඇඳි වොලස් රේඛාව හුදු කල්පිත රේඛාවකට සීමා නො වී සත්ත්ව පරිණාමීය ක්‍රියාවලියේ මායිම් නිරූපණය කරන ජීවමාන රේඛාවක් බවට පත් වී ඇත.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications