Home Features සිතියම්ගත කිරීමේ තාක්‍ෂණික පෙරළිය ලයිඩාර් – LIDAR

සිතියම්ගත කිරීමේ තාක්‍ෂණික පෙරළිය ලයිඩාර් – LIDAR

by cmadurawala

වවුලෝ රාත්‍රියට පාර සොයාගන්නේ කෙසේ ද කියා ඔබ දන්නවා ද? ගව් ගණනාවක් ඈත සිටින ඩොල්ෆින් මත්ස්‍යයන් දෙදෙනෙක් කතාබහ කරන්නේ කෙසේ දැයි ඔබ දන්නවා ද? මේ සත්ත්වයන් දෙදෙනා මේ එකිනෙකට වෙනස් කාර්යයන් දෙක ම කරන්නේ එක ම ක්‍රමයකින්. ඒ සඳහා ඔවුහූ භාවිත කරන්නේ තමන්ගේ ශබ්දයයි. මිනිස් කනට නො ඇසෙන එවන් ශබ්ද අප හඳුන්වන්නේ අති ධ්වනි තරංග ලෙසයි. අපගේ මිනිස් කනට ඇසෙන ශබ්ද පරාසයක් තිබේ. මේ ශ්‍රව්‍යතා පරාසය 20Hz සිට 20,000Hz දක්වා විහිදී යයි. හර්ට්ස් 20ට අඩු ශබ්ද තරංග අධෝ ධ්වනි තරංග ලෙසත් හර්ට්ස් 20ල000ට වැඩි ශබ්ද තරංග අති ධ්වනි තරංග ලෙසත් හඳුන්වනු ලැබෙන අතර මේ පරාසයෙන් පිට කිසිදු ශබ්දයක් මිනිස් කනට නොඇසේ.

වව්ලා රාත්‍රියේ දී එවන් අති ධ්වනි තරංග සැම දිශාවකට ම නිකුත් කරයි. එසේ නිකුත් කළ විට එම තරංගය ඉදිරියේ ඇති බාධකයක ගැටී පරාවර්තනය වී නැවත වවුලා දෙසට ම පැමිණෙන අතර එවිට එම තරංගය නැවත පැමිණීමට ගතවන කාලය මැන එම බාධකයට ඇති දුර ගණනය කර වවුලා තම මනසින් සිතියමක් සාදාගනියි. වවුලෝ රාත්‍රියේ දී කිසිදු බාධකයක නො ගැටී ගමන් කරන්නේ මේ ආකාරයටයි. විද්‍යාඥයන් SONAR සංවේදක උපාංගය නිපදවා ඇත්තේත් වවුලන් වැනි සතුන්ගේ ඇති මේ සංවේදන ක්‍රියාවලිය අනුකරණය කරමිනුයි.

සෝනාර් පරදවන ලයිඩාර්

මෝටර් රථයක ලයිඩාර් සංවේදක උපාංගය ක්‍රියාත්මක වන ආකාරය

අද කතාබහට ලක් කිරීමට යන්නේ එම සංවේදක උපාංගය ගැන නො වේ. SONAR සංවේදක උපාංගයට වඩා වඩාත් කාර්යක්‍ෂම හා වඩා නිරවද්‍ය සංවේදක උපාංගයක් වූ LIDAR (Light Detection and Ranging) සංවේදක උපාංගය ගැන කතාබහට ලක් කිරීම මේ සටහනේ අරමුණයි.

ලයිඩාර් සංවේදක උපාංග විවිධ ක්‍ෂේත්‍ර තුළ දී භාවිත වේ. නවීන මෝටර් රථ තුළ, ඩ්‍රෝන තුළ මෙන් ම පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ද මේ ලයිඩාර් සංවේදක උපාංගය භාවිත කරයි.

ලයිඩාර් පද්ධතියක් තුළ ප්‍රධාන කොටස් හතරක් දක්නට ලැබේ. පළමු ව අවට පරිසරය පරිලෝකනය කිරීම (ස්කෑන් කිරීම) සඳහා ලයිඩාර් සංවේදක උපාංගයක් තිබේ. ලයිඩාර් උපාංගයෙන් පරිසරය පරිලෝකනය කිරීම ගුවන් යානයක සිට හෝ පොළොව මත සිට හෝ චන්ද්‍රිකාවක් මඟින් හෝ සිදු කළ හැකියි. දෙවනුව එම ලයිඩාර් උපකරණය තිබෙන නිවැරැදි ස්ථානය සොයාගැනීම සඳහා මේ පද්ධතිය තුළ GPS (Global Positioning System) උපාංගයක් තිබේ.

තෙවනුව ලයිඩාර් උපාංගය සවි කර තිබෙන යානයේ (ගුවන් යානය, ඩ්‍රෝනය හෝ මෝටර් රථ ආදිය) සිදුවන කුඩා ආනති ගණනය කිරීම සඳහා ලයිඩාර් පද්ධතිය තුළ IMU (Inertial Measurement Unit) එකක් තිබේ. අවසාන වශයෙන් ලයිඩාර් උපාංගය මඟින් එක්රැස් කරගන්නා දත්ත ගබඩා කිරීම සඳහා පරිගණකයක් මේ පද්ධතිය තුළ දැකගත හැකියි.

ලයිඩාර් හි ක්‍රියාකාරීත්වය

නවීන ලයිඩාර් සංවේදක උපාංගයක්

දැන් ලයිඩාර් උපාංගයේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කෙසේ දැයි සොයා බලමු. ලයිඩාර් සංවේදක උපාංගයේ ක්‍රියාකාරීත්වයත් පෙර කී වවුලා රාත්‍රියේ දී පාර සොයාගන්නා ආකාරයට බෙහෙවින් සමාන වේ. පළමුව මේ සංවේදක උපාංගය මඟින් සෑම දිශාවකට ම ආලෝක කිරණ නිකුත් කරයි. ලයිඩාර් උපාංගය අංශක 360ක් ඔස්සේ කරකැවිය හැකි අයුරින් සකසා තිබෙන නිසා ආලෝක කිරණ සැම දිශාවකට නිකුත් කළ හැකියි.

දෙවනුව නිකුත් වූ ආලෝක කිරණ, ඉදිරියේ ඇති බාධකයක ගැටී නැවත සංවේදක උපාංගය වෙත පැමිණේ. එම ආලෝක කිරණ නැවත පැමිණීමට ගතවන කාලය අනුව බාධකයට ඇති දුර ගණනය කරනු ලැබේ. මෙහි දී දුර ගණනය කරනු ලබන්නේ ආලෝකයේ වේගය එම කිරණ නැවත පැමිණීමට ගත වූ කාලයත් සමඟ ගුණ කිරීමෙන් (දුර = වේගය x කාලය). නමුත් මේ ගණනයෙන් ලැබෙන්නේ ආලෝක කිරණ බාධකය වෙත ගොස් නැවත පැමිණීමේ දී ගමන් කළ මුළු දුරයි. ඒ නිසා දුර ලෙස ලැබෙන පිළිතුර දෙකෙන් බෙදා බාධකයට ඇති දුර ගණනය කළ යුතු වේ.

මෙසේ ආලෝක කිරණ නිකුත් වීම තත්පරයකට මිලියන ගණනින් සිදු වේ. එම නිසා පෙර කී දුර ගණනය කිරීම තත්පරයකට මිලියන ගණනින් සිදු වේ. මෙමඟින් ලැබෙන අතිශය විශාල දත්ත ප්‍රමාණය යොදාගෙන ත්‍රිමාන ඡායාරූප නිපදවාගත හැකියි. නවීන මෝටර් රථවල මේ තාක්‍ෂණය දැකගත හැකියි. එමඟින් මෝටර් රථය යම් කිසි බාධකයකට අනවශ්‍ය ලෙස ළං වන විට ස්වයංක්‍රීය ව තිරිංග ක්‍රියාත්මක වේ. මේ නිසා ලයිඩාර් සංවේදක උපාංගයෙන් මෝටර් රථවලට අමතර ආරක්‍ෂාවක් ද ලබා දීම සිදු කරයි.

ගුහා සහ පතල් වැනි අඳුරු හා ගමන් කිරීමට අපහසු ස්ථාන සිතියම්ගත කිරීම ඉතාමත් අපහසු දෙයකි. ඉතා අපහසුවෙන් හෝ සිතියම්ගත කළත් ඉතා නිවැරැදි සිතියමක් තනාගැනීම කළ නොහැක්කකි. එවන් අවස්ථාවල දී එය පහසුවෙන් ඉටු කර ගැනීමට ලයිඩාර් භාවිතයට ගත හැකියි. ඩ්‍රෝනයකට ලයිඩාර් සංවේදක උපාංගය සවි කිරීමෙන් ඉතා පහසුවෙන් ගුහාවේ හෝ පතලේ ත්‍රිමාන සිතියමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත.

පුරාවිද්‍යාවට ලයිඩාර් සහය

ලයිඩාර් මඟින් භූගත ගුහා සිතියම්ගත කිරීම

මේ ත්‍රිමාන සිතියම් පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය තුළ ද භාවිත වේ. මෑතක දී මේ ත්‍රිමාන සිතියම් නිසාවෙන් සුවිශේෂී සොයාගැනීමක් ද සිදු කිරීමට පුරාවිද්‍යඥයන්ට හැකි විය. අංකෝර් ප්‍රදේශය ලොව පුරා ප්‍රකට වූයේ අංකෝර් වට් නමින් හැඳින්වෙන බෞද්ධ ආගමික සිද්ධස්ථාන නිසාවෙනුයි. මේ සිද්ධස්ථානය එම ප්‍රදේශයේ තිබූ ආගමික සිද්ධස්ථාන සිය දහස් ගණනින් එකක් පමණි. මේ ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීමකට ලක් කළ යුතු ප්‍රදේශ හා භූ විද්‍යානුකූල සවිස්තර සිතියමක් මෑතක් වන තුරු නිර්මාණය කර තිබුණේ නැත. මහ ඝන කැලෑවකින් වට වී තිබුණු නිසාත් විශාල වපසරියක පැතිරී තිබුණු නිසාත් එවන් සිතියමක් නිර්මාණය කිරීම වසර ගණනාවක් ගත වන මහා ක්‍රියාදාමයකි.

නමුත් පුරාවිද්‍යාඥයෝ මේ අංකෝර් ප්‍රදේශය සිතියම්ගත කිරීම සඳහා භාවිත කළේ ලයිඩාර් සංවේදක උපාංගයයි. ඒ සඳහා ඔවුන් අධෝරක්ත තරංග නිකුත් වන ලයිඩාර් සංවේදක උපාංගයක් භාවිත කළ අතර එමඟින් අංකෝර් ප්‍රදේශයේ අධෝරක්ත සිතියමක් නිර්මාණය කළ හැකි විය. මෙමඟින් එම ප්‍රදේශය තුළ ස්වභාවික ව නිමැවුණු දෑ සහ මිනිසා විසින් කෘත්‍රිම ව නිර්මිත දෑ පැහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි විය.

ලයිඩාර් මඟින් සැකසූ භූගත ගුහා සිතියමක්

මේ සිතියම් තුළින් කැණීම් කළ යුතු ප්‍රදේශ බොහෝමයක් සොයාගත් අතර මේ සිතියම් භාවිතයෙන් 13 වැනි ශතවර්ෂය තුළ අංකෝර් ප්‍රදේශයේ 900,000කට අධික පිරිසක් වාසය කර ඇති බවට ද අනාවරණය කරගත හැකි විය. මෙවන් සිතියමක් නිර්මාණය කිරීමට ඉතා කෙටි කාලයක් ගත වීම ලයිඩාර්හි තවත් එක් විශේෂ ලක්‍ෂණයකි. අංකෝර් වැනි ඉතා විශාල ප්‍රදේශයක් පැරැණි ක්‍රම තුළින් සිතියම්ගත කරන්නට ගියේ නම් ඒ සඳහා වසර ගණනාවක් ගත වේ. නමුත් මේ තාක්‍ෂණය තුළින් ඒ සඳහා ගත වූයේ සති කිහිපයක් පමණි.

කෘෂිකර්මාන්තය සඳහා

වගාවන්හි විවිධ විෂමතා හඳුනා ගැනීමට ලයිඩාර් භාවිත කළ හැක.

කෘෂිකර්මාන්තයේ ද මේ ලයිඩාර් තාක්‍ෂණය යොදාගනියි. ලයිඩාර් සංවේදක උපාංගයෙන් අධෝරක්ත කිරණ නිකුත් කරමින් සිතියම් නිර්මාණය කළ හැකියි. අධෝරක්ත කිරණ මඟින් සිතියම් නිර්මාණයේ ඇති විශේෂත්වය වන්නේ එමඟින් පරිසරය පුරා තාපය විහිදෙන ආකාරය පැහැදිලි ව හඳුනාගත හැකි වීමයි. කෘෂිකර්මාන්තයේ දී මෙවන් තාක්‍ෂණයක් භාවිත කිරීමෙන් තම වගාවන් පුරාවට හිරු එළිය ලැබෙන අඩු වැඩි ස්ථාන පැහැදිලි ව හඳුනාගත හැකියි. එමඟින් ජලය වැඩියෙන් ලබාදිය යුත්තේ කොතැනකට ද යන්න සොයාගත හැකියි. මෙමඟින් කාලය, ජලය මෙන් ම ශ්‍රමය ද ඉතිරි කරගැනීමට පුළුවන්.

වායු දූෂණය මැනීමට

මීතේන් වායුවේ ව්‍යාප්ති සිතියම

ලයිඩාර් සංවේදක උපාංගයේ කොළ ආලෝකය මඟින් ගංගා ඇළ දොළවල සිදු කරන පරිලෝකනය තුළින් ගංගාවල අභ්‍යන්තරයේ ඇති තොරතුරු අනාවරණය කරගත හැකියි. ගංගාවක ගැඹුර තැනින් තැනට වෙනස් වන ආකාරය සොයාගැනීමෙන් ගංගාවේ ජලය ගලාගෙන යන දිශාව සොයාගත හැකි අතර ජලය අධික කාලයේ දී ජලය පිටාර යන ප්‍රදේශ කල් වේලා ඇති ව දැනගැනීමට පුළුවනි.

පරිසරයට දූෂිත වායුන් එකතු වීම වර්තමානයේ දී දැකගත හැකි ප්‍රධාන පරිසර ගැටලුවකි. නගරාශ්‍රිත ප්‍රදේශවල මේ තත්ත්වය බරපතළ ව දැකගත හැකියි. ලයිඩාර් සංවේදක උපාංගය තුළින් මේ දූෂිත වායුන් පැතිරී ඇති ප්‍රදේශ අනාවරණය කරගැනීමට පුළුවනි. ලයිඩාර් උපාංග යෙන් පාරජම්බුල කිරණ, දෘෂ්‍ය ආලෝකය සහ අධෝරක්ත කිරණ යන පරාසයන්ගේ ආලෝක කිරණ නිකුත් කිරීමට හැකියාව තිබේ. එම නිසා ඒ පරාසයන්ගේ තරංග ආයාමයන් ඇති දූෂිත අංශු ලයිඩාර් උපාංග යෙන් හඳුනාගත හැකියි. විශේෂයෙන් කාබන්ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ මීතේන් යන වායුන් පැතිරී ඇති ප්‍රදේශ අනාවරණය කරගත හැකි වේ. නගරාශ්‍රිත ප්‍රදේශවල මේ වායුන්ගේ පැතිරීම අධ්‍යයනය කිරීමෙන් වැඩිපුර අවධානය යොමු කළ යුතු ප්‍රදේශ හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම කළ හැකියි.

මේ ආකාරයෙන් ලයිඩාර් සංවේදක උපාංගය තුළින් නොයෙක් ආකාරයේ ප්‍රයෝජන විවිධ ක්‍ෂේත්‍රය ඔස්සේ විහිදී ඇති බව හඳුනාගන්නට පුළුවන්. මෙවන් තාක්‍ෂණයක් ලංකාව තුළ ද වැඩි වශයෙන් භාවිතයට ගැනීමෙන් එය රටේ දියුණුවට පිටිවහලක් වනු නියතයි.

ඩියෝන් මිතිල ප්‍රනාන්දු

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications