Home EntertainmentNelum Vila පුරාණ ග්‍රීසිය (නෙළුම් විල – 07)

පුරාණ ග්‍රීසිය (නෙළුම් විල – 07)

by Kithsiri

පැටලිලි සහගත ප්‍රපංච ලෝකය තුළ පැටලිලි රහිත යථාර්ථයක් ඇත.” – තේල්ස් – (ක්‍රි. පූ. 604 – 546)

නිසැක ව ම ඔයා හොලිවුඩ් චිත්‍රපට රසිකයෙක් වෙන්න ඇති කියා මට හිතෙනවා. පුරාණ ග්‍රීක මිථ්‍යා කතා හා ඒවායේ එන වීර චරිත නවීන තාක්‍ෂණයේ උපකාරයෙන් නැවුම් ආකාරයකින් ප්‍රතිනිර්මාණය කරන්න හොලිවුඩ් චිත්‍රපට අද වෙන කොට සමත් වෙලා තියෙනවා. ඒ වගේ ම පුරාණ ග්‍රීසිය පසුබිම් කර ගෙන චිත්‍රපට ගණනාවක් ම නිර්මාණය වෙලා තියෙනවා. Troy කියන්නේ එවැනි ජනප්‍රිය චිත්‍රපටයක්. සමහර විට ඔයා ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ආකිලීස්ගේ චරිතය නිරූපණය කළ ජනප්‍රිය නළු බ්‍රැඩ් පීට්ගේ රසිකයෙක් වෙන්නත් ඇති. පුරාණ ග්‍රීසියටත් ග්‍රීක ශිෂ්ටාචාරයටත් පදනම දැමූ වැදගත් ඓතිහාසික සිද්ධියක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. ආකියන් ග්‍රීක්වරුන් ක්‍රීටයන්ගේ ශිෂ්ටාචාරයේ පදනම ලෙස සැලකූ ට්‍රෝයි නුවර ග්‍රීකයන් විසින් අල්ලා ගැනීම තමයි ඒ සිදු වීම. ක්‍රි. පූ. 06 වැනි සියවසෙන් පසුව ආකියන්වරුන් ඒජියන් මුහුද අවට පැවති පැරැණි ඒජියන් ශිෂ්ටාචාරයට අයත් සියලු දූපත් එක වර අල්ලා ගැනීමට කටයුතු යොදනවා. නැව් තැනීමේ තාක්‍ෂණය ගැන ඔවුන්ට තිබූ විශිෂ්ට දැනුම ඊට ඔවුන්ට මහත් පිටිවහලක් වෙනවා. ට්‍රෝයි නගරය අල්ලාගැනීමත් එය විනාශ කිරීමත් පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ ආරම්භයට විශාල බලපෑමක් කළ සිදු වීමක් ලෙස සැලකෙනවා. ඉන් පසුව ඒජියන් මුහුද අවට දූපත් පදනම් කරගෙන ගොඩනැඟෙන පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය මූලික අවධි 03කට බෙදා දක්වන්න අපට පුළුවන්.

01 – හෝමරික අවධිය – (ක්‍රි. පූ. 1,500-1,000)

02 – ග්‍රීක පෞර රාජ්‍ය අවධිය – (ක්‍රි. පූ. 1,000-750)

03 – යටත්විජිත අවධිය – (ක්‍රි. පූ. 750-350)

ග්‍රීකයන් තමන්ව හඳුනාගත්තේ හෙලනීසියන්වරුන් කියායි. එයට හේතුව ඔවුන්ගේ විශ්වාසය අනුව ඔවුන් පැවතගෙන එන්නේ හෙලන් නම් මුතුන් මිත්තා ගෙන් වීමයි. සිංහලයන් විජය ගෙන් පැවතගෙන එනවා ය කියනා විශ්වාසයට ඒක සමානයි කියා ඔයාට හිතෙන්නෙ නැද්ද? අඩු වැඩි වශයෙන් ලොව සැම ජාතියකට ම, ජන වර්ගයකට ම තමන් පැවතගෙන එන මුතුන් මිත්තකු පිළිබඳ විශ්වාසයක් පවතිනවා. පුරා කතා තියෙනවා. ජන සමාජයක සාමූහික බැඳීමට මේ විශ්වාසයන් සහ පුරාවෘත ඉමහත් බලපෑමක් සිදු කරන නිසා අපට ඒවායේ සත්‍ය අසත්‍යතාව ගැන ප්‍රශ්න කරන්න බැහැ කියන්න ඔයා තේරුම් ගන්න ඕනෙ. ඒ කොහොම වුණත් අදින් වසර 3,500කට පමණ පෙර ආරම්භ වන මේ ග්‍රීික ශිෂ්ටාචාරය තුළ තමයි අද තියෙන බටහිර ශිෂ්ටාචාරයට සහ දැනුම් පද්ධතියට අවශ්‍ය පදනම ගොඩනැඟෙන්නේ. ඒ නිසා ග්‍රීක ශිෂ්ටාචාරය හෝ පුරාණ ග්‍රීසිය පිළිබඳ මූලික දැනුමක් රහිත ව අපේ මේ සංවාදය ඉදිරියට කරගෙන යන්න බැහැ කියන එක ඔයා වටහා ගන්න ඕනෙ.

අන්ධ කවියා හෝමර්ගේ නමින් ග්‍රීක ශිෂ්ටාචාරයේ පළමු අවධිය, හෝමරික අවධිය කියා නම් කර තිබෙනවා.

ඒජියන් මුහුද අවට දූපත්වල ග්‍රීක ශිෂ්ටාචාරය ගොඩනැඟූ ග්‍රීක්වරුන්ගේ මුල් වාසභූමිය ග්‍රීසියට උතුරින් පිහිටි ප්‍රදේශයන්. ඒ වන විට පැවැති ඒජියන් ශිෂ්ටාචාරයෙන් හා සංස්කෘතියෙන් බොහෝ දේ අවශෝෂණය කරගත්තත්, පෙනුමෙන් උස, පැහැපත් ජන කොටසක් වුණු මේ උත්තරවාසී ආක්‍රමණික ජනයා මූලික ස්වරූපයෙන් සංචාරක ගොපලු ජන කොටසක් වුණා. නව ප්‍රදේශයන් ආක්‍රමණය කරමින් දකුණු දිගට ව්‍යාප්ත වුවත් ඔවුන් තමන්ගේ ආගම සහ භාෂාව දිගට ම පවත්වාගෙන යන්න කටයුතු කළා. පසු කාලෙක ඔවුන් කෘෂිකර්මයට හා ස්ථිර වාසස්ථානයන්ට පුරුදු පුහුණු වීම ග්‍රීක ශිෂ්ටාචාරයට අවශ්‍ය පදනම නිර්මාණය කළා.

හෝමරික අවධියේ ආර්ථිකය පදනම් වුණේ කෘෂිකර්මාන්තය මතයි. ඉඩම් ප්‍රමාණය හා ගවයන් සංඛ්‍යාව මත ධනවත්භාවය තීරණය වුණු අතර ඔවුන්ගේ ආගමික නැඹුරුව බහුදේවවාදය මත පදනම් වුණා. බහුදේවවාදය කියන්නේ එක් තනි දෙවියකු වෙනුවට දෙවිවරුන් ගණනාවක් ඇදහීම. පොදුවේ ගත් විට පුරාණ ග්‍රීකයන් කියන්නේ අතිවිශාල දෙවිවරුන් ප්‍රමාණයක් ඇදහූ ජන කොටසක්. එය සමස්ත ග්‍රීක ශිෂ්ටාචාරය පුරා ම දකින්න ඇති ලක්‍ෂණයක්.

ග්‍රීක ශිෂ්ටාචාරයට ආවේණික අංග ලක්‍ෂණ ගණනාවක් නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම සකසා හෝමරික අවධිය අවසන් වෙනවා. එය අවසන් වන විට ග්‍රීසිය තුළ සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සමාජ වටපිටාවක් නිර්මාණය වී තිබුණා. සමාජයේ ධනවත් හා බලවත් වූ වෙළෙන්දන් හා රදළයන් ගෙන්, රජවරුන්ගේ පාලනයට එරෙහි ව නිරන්තර කැරැලි ඇති වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට වෙළෙඳුන් හෝ රදළයන් කිහිප දෙනකු විසින් පාලනය කරනු ලබන කතිපයාධිපති පාලන ක්‍රම බිහි වුණා. නමුත් ග්‍රීක ශිෂ්ටාචාරයේ රදළවරුන්ගේ පාලන යුගය ගැන තොරතුරු අල්පයි. ග්‍රීසියේ ලේඛනගත හා වාර්තාගත ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රි. පූ. 750 දී පමණ බැවින් ඊට පෙර ඉතිහාසය සම්බන්ධයෙන් වාර්තාගත තොරතුරු බෙහෙවින් අල්ප වීම මීට හේතුවයි.

කෙසේ වෙතත් මේ වන විට ග්‍රීක පෞර රාජ්‍යය ක්‍රමය වැඩී වර්ධනය වී තිබුණා. ඒ වන විට ග්‍රීසිය කුඩා පෞර රාජ්‍යය හෙවත් නගර රාජ්‍යය 09කට බෙදී තිබුණා. මේ නගර රාජ්‍යයන් භූමි ප්‍රමාණයෙන් කුඩායි. උදාහරණයකට වර්තමානයේ ග්‍රීසියේ ඇතෑන්ස් නගරය, එකල කුඩා, ස්වාධීන රාජ්‍යයක් ලෙස  පිළිගැනුණා. එසේ ම මේ කුඩා රාජ්‍යයන් වර්තමාන ජාතික රාජ්‍යයන් තරමට ම ස්වාධීන දේශපාලන ඒකක ලෙස ද පිළිගැනුණා. ක්‍රි. පූ. 800 වන විට මේ පාලන ක්‍රමය ග්‍රීසිය තුළ මැනවින් ස්ථාපිත වී තිබුණා. කෘෂිකර්මයට අමතර ව වෙළෙඳ ආර්ථිකය වර්ධනය වීම හේතුවෙන් මේ පෞර රාජ්‍යයන් වාණිජ මධ්‍යස්ථාන බවට ද පසු කලක පරිවර්තනය වෙනවා. මේ කුඩා පෞර රාජ්‍යයන් අතරින් ඇතෑන්ස් පෞර රාජ්‍යයේ ලොව පළමු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ද බිහි වෙනවා.

එහෙත් ක්‍රි. පූ. 750න් පමණ පසුව මේ කුඩා රාජ්‍යයන් තම තමන්ගේ පාලන ප්‍රදේශ තව තවත් පුළුල් කරගැනීමටත් කටයුතු කරනවා. ඒ නිසා මේ අවධිය යටත්විජිත අවධිය ලෙස නම් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීක ශිෂ්ටාචාරය  නැඟෙනහිරින් කළු මුහුදේ වෙරළබඩ ප්‍රදේශ දක්වා ද බටහිරින් ස්පාඤ්ඤය දක්වා ද භූමි ප්‍රදේශයක පැතිරෙනවා. ඒ අනුව පුරාණ ග්‍රීසිය කියන්නේ බටහිර හා නැඟෙනහිර ලෝකය එකට හමු වුණු ස්ථානයක් ලෙස හඳුනාගන්න අපට පුළුවන්.

මම කියනවට ඔයා පැරැණි සිතියමක් අරන් මේ ගැන හොයා බලන්න. සිතියමක් අධ්‍යයනය කිරීම කියන්නේ ආශ්වාදනීය වැඩක්. සිතියම් අධ්‍යයනය කිරීමෙන් අපි ජීවත් වන මේ ලෝකය ගැන වෙනස් අයුරක අවබෝධයක් අපිට ලැබෙනවා.

ශීඝ්‍රයෙන් සිද්ධ වුණ සමාජ, දේශපාලන හා ආර්ථික වර්ධනයත් පරිවර්තනයනුත්, ආසියාව සහ බටහිර ලෝකය එකට හමු වන ස්ථානයක පිහිටීමත් හේතුවෙන් ග්‍රීක ශිෂ්ටාචාරය තුළ බුද්ධිමය හා සංස්කෘතික දියුණුවක් ඇති වෙනවා. ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති කලාව, සාහිත්‍යය, නාට්‍ය, චිත්‍ර කලාව, සංගීතය, නීතිය, ක්‍රීඩාව මෙන් ම ගණිතය, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ආදි විවිධ ක්‍ෂේත්‍රයන්හි විශාල වර්ධනයක් ඇති වෙනවා. ග්‍රීසිය තුළ සිදු වන මේ සංස්කෘතික හා බුද්ධිමය පරිවර්තනය තුළ තමයි දර්ශනය බිහි වන සරුසාර පසුබිම නිර්මාණය වෙන්නේ.

ඉතින්, දර්ශනයේ ආරම්භය සිදු වන්නේ මේ ග්‍රීක ශිෂ්ටාචාරයට අයත් එක් පෞර රාජ්‍යයක් තුළ දී. ඒ තමයි මයිලේටස්. පැටලිලි සහගත ප්‍රපංච ලෝකය තුළ නිරවුල්, පැටලිලි රහිත යථාර්ථයක් සොයා ගිය තේල්ස් නම් මයිලේසියානුවා, නැති නම් ග්‍රීකයා තමයි දර්ශනයේ ආරම්භකයා විදිහට පිළිගන්නේ.

ඔයා මොකද හිතන්නේ..? තෙල්ස්ට ඒ නිරවුල් යථාර්ථය හොයා ගන්න පුළුවන් වෙන්න ඇත් ද..?

ආ… අමතක කරන්න එපා! සිතියමකින් බලන්න මයිලේටස් කියන්නේ කොහෙ ද කියලා. හොඳ ද…?

ලබන සතියට…

දර්ශන විද්‍යා අරවින්ද

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications