පෘථීවි මතුපිට සිට කිලෝමීටර 400ක පමණ විචල්‍ය දුරකින් කක්ෂගත ව පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඔබ මේ ලිපිය කියවන මොහොතේ දීත් අජටාශගාමීන් සත් දෙනෙකුට නිවෙස වී තිබේ. 1998 වසරේ සිය මෙහෙයුම් ආරම්භ කළ එය මේ වන විට විද්‍යා දැනුම් ප්‍රවාහය වෙනුවෙන් දක්වා ඇති සහයෝගය අනුපමේය ය. කෙසේ නමුත් තවත් දශකයක අවෑමෙන් එය අත් හැර දමන්නට මානව වර්ගයාට සිදු වනු ඇත. NASA ආයතනය දැනටමත් නිවේදනය කර ඇති පරිදි 2030 දී එය විශ්‍රාම යැවෙනු ඇත. කෙතරම් විසල් ව, අද්විතීය පරිමාණයකින් නැඟී සිටියත් එය ද අන් සියල්ලක් මෙන් විශ්වීය ධර්මතාවන්ට යටත් බව පසක් කරමින් මේ වන විටත් එහි ව්‍යුහයන්ගේ අකර්මණ්‍යතා හටගන්නට පටන්ගෙන තිබේ.
වායුගෝලයටත්, ඕසෝන් ස්ථරයටත් පින් සිදු වන්නට පෘථිවිය මතුපිට සිටින අප සෞම්‍ය හිරු කිරණක පහස ලැබූවත් සැතපුම් 250ක් ඉහළ අභ්‍යවකාශයටනම් හිරුගේ සැඩ කිරණ එතරම් කාරුණික වන්නේ නැත. තත්පරයට කිලෝමීටර 7.66ක වේගයකින් ගමන් ගන්නා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, සෑම විනාඩි 90කට ම වරක් පෘථිවිය වටා යන වටයක් සම්පූර්ණ කරයි. ඒ යන සෑම වටයක දී ම සැඩ හිරුටත්, රාත්‍රී පස සිසිලසටත් එකපිට එක වේගයෙන් මුහුණදීමට එයට සිදු වෙයි. මේ හේතුවෙන් මෙන් ම තවත් හේතූන් ගණනාවක් ම නිසා දශක ගණනාවක් මුළුල්ලේ ISS හි මූලික ව්‍යුහය දැඩි වධබන්ධනයකට ලක් වෙමින් තිබේ.
ISS හි භෞතිකමය අරාජිකත්වය එසේ පැවතිය දී රුසියාව ද කලෙක පටන් ‘අඬන්නට ඉන්න එකාගේ ඇහැට අනින්නට’ පටන්ගෙන තිබේ. යුක්‍රේනය මුල් කොටගෙන ඇති වී තිබෙන සංකීර්ණතා නිසා ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී්‍න් අතර බෙදීමක් ඇති ව තිබේ. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංවිධානය, කැනඩාව, ජපානය අතරේ රුසියාව තනි අලියෙකු බවට පත් ව තිබේ. යුක්‍රේන ආක්‍රමණය හෙළා දකිමින් රුසියාවට පැණවූ ආර්ථික සම්බාධකවලට පිළිතුරක් ලෙස පසුගිය වසරේ රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොස්මොස් ISS තුළ අනෙක් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරීම නවතා දමන බවට තර්ජනයක් ද කළේ ය. පසුගිය ජූලි මස රොස්කොස්මොස් ප්‍රධානී ධූරයට පත් යූරි බොරිසොෆ් 2024 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට මොස්කව් අගනුවර තීරණය කර ඇති බව කීවේ ය. කෙසේ නමුත් නවතම තොරතුරුවලට අනුව ඒ සඳහා 2024ට වඩා කල් ගත වනු ඇති බව පෙනී යන්නේ රුසියාව විසින් ROSS නමැති ස්වකීය අභ්‍යවකාශ නැවතුම්පොළ තනා නිම වන තුරු ISS හි සිය මෙහෙයුම් පවත්වාගන්නට බලාපොරොත්තු වන බව දන්වා එවූ බවට වාර්තා වන හෙයිනි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සතු සමස්ත මොඩියුල 17 අතුරින් 6 ක් ම මෙහෙයවෙන්නේ රුසියානුවන් අතිනි. මධ්‍යස්ථානයේ ප්‍රචාලන පද්ධතිය ද ඊට අයත් ය. රුසියානු මොඩියුලය එහි යාත්‍රණය සහ මෙහෙයුම් සඳහා නැති ව බැරි ය. ප්‍රමාණවත් කාල රාමුවක් තුළ නො කෙරෙන රුසියාවේ හදිසි තීරණ දැනුම් දීමකින් පසු නික්ම යාමක් වේ නම් එය ද අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කටයුතු අඩාල වීමට ප්‍රමාණවත් ය.
කෙසේ වෙතත් දැනට පවතින තොරතුරුවලට අනුව 2030න් පසු එය විශ්‍රාම යැවෙන බව ස්ථිර ය. NASA සිතා සිටින්නේ එය පැසිෆික් සාගරයේ ගිල්වීමටයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් සමාප්තියෙන් පසු ඉන් ඉතිරි වූ හිඩැස පුරවනු ඇත්තේ කෙසේ ද?
NASA ආයතනය නැඟී එන ප්‍රවණතාවන්ට ගරු කරමින් පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ තාක්ෂණායතනයන්ට ඉඩ හසර වෙන් කරන්නට පටන් ගෙන තිබේ. ඇතැම් ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ද ආයෝජනය කරන NASA මේ වන විටත් නුදුරු දිනෙක වාණිජ්‍යමය මුහුණුවරකින් යුතු ව භාවිතයට ගත හැකි අභ්‍යවකාශ නැවතුම්පොළ සංකල්ප කිහිපයක් ගැන ම පහන් සිතින් පසුවන අතර ඒවා ඉදිරිපත් කළ පෞද්ගලික අංශයේ තාක්ෂණායතන සමඟ අත්වැල් බැඳගෙන සිටියි. පෞද්ගලික අංශ වෙත නැඹුරු වීමෙන් NASA ආයතනයට වාසියක් ද අත් වේ. එනම් ඔවුන්ට වෙනත් බැරෑරුම් මෙහෙයුම් සඳහා පිරිවැය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වීමයි. පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය වෙනුවෙන් ම වාණිජ්‍යමය පහළ-පෘථිවි කක්ෂ සංවර්ධන වැඩසටහන (commercial low-Earth orbit development program) නමින් ව්‍යාපෘතියක් ද NASA ආයතනය පවත්වාගෙන යයි.
NASA විසින් 2020 වසරේ දී Axiom Space සමාගමට ඇ.ඩො. මිලියන 140ක් ලබාදුන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ම එක් කළ හැකි නව මොඩියුලයක් නිමවන ලෙසට ය. එය පසු කාලීන ව එයින් වෙන් කරගෙන වෙන ම අභ්‍යවකාශ නැවතුම්පොළක් සේ ගොඩනැඟිය හැකි ද විය යුතු ය. 2021 අවසන් වන විට පිළිවෙළින් Blue Origin, Nanoracks සහ Northrop Grumman සමාගම්වලට ද මිලියන සියය ඉක්මවූ මුදල් ආයෝජන වෙන් කෙරිණි. ඒ ඔවුන් යටතේ ගොඩනැංවිය හැකි අභ්‍යවකාශ නැවතුම්පොළ සැලසුම් සකස් කිරීම සඳහා ය.
Axiom අභ්‍යවකාශ මධ්‍යස්ථානය

වාණිජ්‍යමය අභ්‍යවකාශ නැවතුම්පොළ අතුරින් මුලින් ම කක්ෂගත වනු ඇතැයි සිතිය හැක්කේ NASA මූල්‍ය දායකත්වයෙන් ද පන්නරය ලැබ Axiom සමාගම විසින් සැලසුම් කෙරෙන අභ්‍යවකාශ නැවතුම්පොළයි. දැනට Axiom අපේක්ෂා කරන්නේ එය 2025 වන විට අභ්‍යවකාශගත කළ හැකි වනු ඇති බව ය. ඔවුන් සැලසුම් කරන්නේ එය කෙළින් ම දැනට පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ඈඳීමට ය. ඊට අයත් පළමු මොඩියුලය 2025 දී ISS වෙත යා කෙරෙන අතර ඉන් පසු තවත් මොඩියුල තුනක් ඒ හා ඈඳෙන්නට නියමිත ය. මෙසේ යැවෙන මුල් ම මොඩියුල කිහිපය විදුලියත්, උෂ්ණත්ව පාලන පහසුකමුත් ලබාගනු ඇත්තේ ISS මඟිනි.
මේ අතරින් තුන් වන මොඩියුලය පර්යේෂණ මෙන් ම නිෂ්පාදන ආගාරයක් වීම විශේෂත්වයකි. අධි බලැති රොකට් එන්ජින් තැනීමට භාවිතා කරන මිශ්‍ර ලෝහ පෘථිවිය මත දී මෙන් දෙගුණයක සවි ශක්තියකින් යුතු ව අභ්‍යවකාශයේ දී තැනිය හැකි බව සොයාගෙන ඇති බැවින් එය මානව අභ්‍යවකාශ තරණයන්ගේ ප්‍රගමණය වෙනුවෙන් සුවිශාල සේවයක් සලසනු නිසැක ය. මුල් මොඩියුල කිහිපය අභ්‍යවකාශගාමීන් සිව් දෙනෙකුට සුව සැලසිය හැකි පහසුකම්වලින් සමන්විත වනු ඇත.
ඇක්සියම් සමාගම පවසන පරිදි සිය නැවතුම්පොළේ දිවි ගෙවීම වඩාත් ප්‍රසන්න අත්දැකීමක් වනු ඇත. ISS අභ්‍යන්තරයට එබිකම් කළහොත් ඔබට එය පෙනෙනු ඇත්තේ ‘පිස්සියකගේ පළා මල්ලක්’ ලෙසිනි. විවිධ බඩු භාණ්ඩවලින් මෙන් ම රැහැන් මඟින් එහි ඉඩ ඇහිරී තිබේ. නමුත් Axiom සැලසුම් කර ඇති ත්‍රිමාණ සිතුවම්වලට අනුව එය ක්‍රීම් පැහැති පිම්බූ බිත්තිවලිනුත්, උණුසුම් පැහැති විදුලි ආලෝකයෙනුත් හැඩ වෙනු ඇත. Axiom නැවතුම්පොළේ පහළ කොටසේ අඩි අට * හය ප්‍රමාණයේ කවුළු අටකින් සමන්විත පෘථිවි නිරීක්ෂණාගාරය මෙතෙක් අභ්‍යවකාශයේ ඇති දැවැන්ත ම පෘථිවි නිරීක්ෂණාගාරය වනු ඇත.
Northrop Grumman අභ්‍යවකාශ මධ්‍යස්ථානය

Northrop Grumman සමාගම පෙර සිට ම NASA ආයතනයේ අවශ්‍යතාව පරිදි සඳ වටා කක්ෂගත වෙමින් ගගනගාමීන් හට වාසස්ථාන සැලසිය හැකි Gateway නම් චන්ද්‍ර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සැලසුම් කරමින් සිටියේ ය. ඔවුන් බලාපොරොත්තු වන්නේ එහි ම සැලැස්මෙන් නිර්මිත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පෘථිවි කක්ෂයට යැමීමට ය. එමඟින් තාක්ෂණික දෝෂ පැන නැඟීමේ සම්භාවිතාව අඩු වනවා මෙන් ම කාලය ද ඉතිරි කරගත හැකි ය.
2028ත් 29 ත් අතර කාලයේ එහි පළමු මොඩියුලය පහළ පෘථිවි කක්ෂයට යැවීම Northrop Grumman සමාගමේ අභිලාෂයයි. ඔවුන් සතු ‘සිග්නස්’ යානා ද්විත්වයක් පසු ව එහි යා වනු ඇති අතර ඒවා විද්‍යාගාරත්, වාසස්ථාන සහ ගබඩාවන් ලෙසත් භාවිතා කළ හැකි පරිදි අමතර ඉඩකඩ සකසා දෙනු ඇත.
දැනට ISS හි මෙහෙයුම්වලට සම්බන්ධ ව සිටින රටවලට අමතර ව වෙනත් රාජ්‍යයන්ට ද සිය නැවතුම්පොළේ පහසුකම් සැලසීමට Northrop Grumman අදහස් කරගෙන සිටියි. ඔවුන් පවසන්නේ විද්‍යාත්මක පර්යේෂණයන්ට, නිෂ්පාදන ක්‍රියාවලියට මෙන් ම අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයට ද සරිලන පරිදි අවැසි නම් තවත් අමතර මොඩියුල එක් කිරීමට හැකි බව ය.
Orbital Reef

Blue Origin සහ Sierra Nevada සමාගම් එක් ව සැලසුම් කරන Orbital Reef අභ්‍යවකාශ නැවතුම්පොළ 2027 දී කක්ෂගත කිරීමට අපේක්ෂිත ය. එහි සියලු ම මොඩියුල සවි වනු ඇත්තේ තනි දිගු ප්‍රධාන මොඩියුලයකට ය. එම ප්‍රධාන මොඩියුලය ලොබියක් සේ පවත්වාගත හැකි ය. සූර්ය කෝෂ පැනල ද සවි වන්නේ එයට ම ය. එසේ ම අභ්‍යවකාෂ නැවතුම්පොළේ සංසරණය වන උෂ්ණත්වය පිටත වායුගෝලයට මුදා හැර සිසිලනය කරන රේඩියේටරය ලෙස ක්‍රියා කරන්නේ ද එම ව්‍යුහයයි. නැවතුම්පොළේ යාත්‍රණය, සන්නිවේදනය මෙන් ම පාරිසරික හැඩගැසීම් ආදිය පාලනය කෙරෙන පද්ධතීන් ද එහි පිහිටා ඇත.
Orbital Reef සැලසුම් කර ඇත්තේ අදාළ තැන අදාළ කාරිය සඳහා ම වෙන් කළ හැකි අයුරිනි. උදාහරණයක් ලෙස එහි ලැගුම් ගන්නා අභ්‍යවකාශගාමීන්ට නිදා ගන්නා තැන ඒ සඳහා පමණක් ම විශේෂ වන පරිද්දෙන් පාවිච්චි කළ හැකි ය. නිදාගැනීමට සහ විවේකයට වෙන් කර ඇති ඉඩකඩෙහි අන් සියලු වැඩ රාජකාරිවලින් මිදී නිදා ගැනීමෙහි යෙදිය හැකි ය. ‘ජීවාධාරක වාසස්ථාන’ කොටසෙහි නිදාගන්නා කුටිත්, මුළුතැන්ගෙයත්, ශරීර සුවතා මධ්‍යස්ථානයත් පිහිටා තිබේ.
Blue Origin සමාගමේ අභිප්‍රාය වී තිබෙන්නේ Orbital Reef ඔස්සේ හුදු පර්යේෂණයන්ගෙන් හා අභ්‍යවකාශ පාදක නිෂ්පාදනයෙන් පමණක් සන්තර්පණය නොවී අභ්‍යවකාශ සංචාරක හෝටල් ක්ෂේත්‍රයටත් පය තැබීමට ය. විනෝදාස්වාද කර්මාන්තයට ද මෙය චිත්‍රපට රූ ගත කළ හැකි චිත්‍රාගාරවල සිට ක්‍රීඩාගාර දක්වා භාවිතයට ගත හැකි පරිදි නිමවිය හැකි බව ඔවුන්ගේ අදහසයි.
Starlab

Nanoracks සහ Voyager Space සමාගම් විසින් සැලසුම් කරනු ලබන Starlab නැවතුම්පොළ කක්ෂගත කෙරෙන්නේ එක පාරින් ම ය. අනෙක් නැවතුම්පොළෙවල් මොඩියුලයෙන් මොඩියුලය වෙන වෙන ම ක්‍රමික ව සවිකර ගනිද්දී Starlab සියලු අත්‍යාවශ්‍ය අංග සතු නැවතුම්පොළක් මෙන් ම තනි මොඩියුලයක් සේ අභ්‍යවකාශගත කරන්නට හැකි වනු ඇත. මේ නැවතුම්පොළට ද බලය ලබා ගැනීම සඳහා සූර්ය කෝෂ පැනල, ඈඳීම සඳහා අවැසි වා කවුළුවක් (docking node), ප්‍රචාලන පද්ධතියක්, වාසස්ථානයක් මෙන් ම රොබෝ අතක් ද තිබේ. සැලසුම්කරුවන් පවසන පරිදි එය අභ්‍යවකාශගත කළ මොහොතේ පටන් පරිපූර්ණ වශයෙන් භාවිතයට ගත හැකි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් බව ය. එසේ ම එය මෙතෙක් තනි ව්‍යුහයක් සේ එක් රොකට්ටුවකින් අභ්‍යවකාශගත කෙරෙන බරැති ම චන්ද්‍රිකාව ද වනු ඇත.
සිලින්ඩරාකාර හැඩයකින් යුතු වන එය අභ්‍යවකාශගාමීන්ගේ කුටිය, පර්යේෂණ කුටිය සහ නිෂ්පාදන කුටිය ආදී වශයෙන් ප්‍රධාන කොටස් තුනකට අභ්‍යන්තරයෙන් බෙදා වෙන් කර තිබේ. මෙහි අභ්‍යවකාශගාමීන්ගේ නිදන කුටි සැලසුම් කිරීම සඳහා ප්‍රමුඛපෙළේ හෝටල් ජාලයක් වන ‘හිල්ටන්’ සමූහය ද එක් ව සිටියි. එසේ ම මෙම නැවතුම්පොළේ අනුරුවක් ඔහායෝ සරසවියේ ද ඉදි කරන්නට සැලසුම් කර ඇති අතර අභ්‍යවකාශගත වීමට පෙර අභ්‍යවකාශගාමීන් හට එහි අභ්‍යන්තරයේ කටයුතු සිදු වන ආකාරය ගැන පූර්ව අධ්‍යයනයක් කිරීමට ද අවකාශය සැලසෙනු ඇත.
සත්‍ය හෙට්ටිආරච්චි