Home Features සිකුරු ලොවේ පා වන මන්දිර

සිකුරු ලොවේ පා වන මන්දිර

by Sahan

මේ ගෙවී ගිය සතිය සිකුරු ගැන අවධානය දක්වන අයට අතිශයින් වැදගත් එකකි. එයට හේතුව නම් පැය 33ක කාලයක් තුළ (අගෝස්තු 09 හා 10) යානා දෙකක් ම සිකුරු ආසන්නයට පැමිණීමයි. මේ යානාවලින් එකක නම වන්නේ BepiColombo ය. Bepi Colombo යන නම මේ යානයට තබා ඇත්තේ Giuseppe Bepi Colombo නමැති ඉතාලි ජාතික තාරකා ගණිත ශ්‍රාස්ත්‍රඥයා අනුස්මරණයට ය.

අනෙක් යානය Solar Orbiter ය. Solar Orbiter මෙහෙයවනු ලබන්නේ NASA හා ESA ආයතනවල එකතුවකිනි. Bepi Colombo, ESA හා ජපාන JAXA ඒජන්සියේ එකතුවකි. Bepi Colombo යානය බුධ ග්‍රහයා වෙත යන ගමනේ දී මෙලෙස සිකුරු අසලින් ගමන් කළ අතර Solar Orbiter මෙලෙස ගමන් කරනු ලැබුවේ හිරු වටා කක්ෂගත වීමට යන ගමන අතරතුර ය. එකම කාලයක් තුළ ස්ථාන ගණනාවක සිට සිකුරු නිරීක්‍ෂණය කරන්නට හැකි වීම මෙලෙස ආසන්න කාලයක දී යානා සිකුරු පසු කරමින් ගමන් කිරීම මඟින් ලැබෙන වාසියකි. අප මේ සිකුරු නිරීක්‍ෂණය කරමින් යන යානා ගැන සඳහන් කළේ සිකුරුවලට අදාළ වෙනත් ආකර්ෂණීය පුවතක් අනාවරණය කිරීමේ අදහසිනි.

එය නම් සිකුරු ජනාවාසකරණය පිළිබඳ පුවතයි. සිකුරු ජනාවාසකරණය යන වදන් ඇසූ පමණින් ම කෙනකු එය ඇදහිය නොහැක්කක් ලෙස සැලකීමට ඉඩ තිබේ. එයට හේතුව සිකුරු ග්‍රහලොවෙහි පවතින අධික උෂ්ණත්වයයි. මේ උෂ්ණත්වය නිසා ම සිකුරු හැඳින්වෙන්නේ ගිනිගත් අපායක් ලෙසිනි.

අභ්‍යවකාශ යුගය ඇරඹෙන්නට පෙර බොහෝ කතාකරුවන් සිකුරු මත ජීවත් වීම ගැන සිහින මැවුවත් එහි ඇති අති දුෂ්කර පරිසර තත්ත්ව ගැන තොරතුරු හෙළිදරව් වූ පසු ඒ අදහස් අත හැරීමට බොහෝ දෙනා කටයුතු කළ හ. මෙවැනි උණුසුම් ගිනි ගොඩක මිනිසුන්ට ජීවත් වන්නට හැකි ද යන පැනය තාරකා විද්‍යාව පිළිබඳ පරතෙරට නො දත් සාමාන්‍ය කෙනකු තුළ පවා පැන නඟින්නකි. කෙසේ වෙතත් එබඳු තත්ත්ව යටතේ පවා සිකුරු ජනාවාසකරණය පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නට විද්‍යාඥයන් කටයුතු කර ඇත.

පසුගිය දිනවල සිදු වූ BepiColombo හා Solar Orbiter යානාවල ගමන හා ඉදිරියේ දී නියමිත සිකුරු මෙහෙයුම් ගැන ඇති වූ කතාබහත් සමග ම මේ මතවාද ද කරළියට පැමිණ තිබේ.

පා වන බැලූන නගර

සිකුරු ජනාවාසකරණයට අදාළ එක් මතයක් හරියට ම සුරංගනා කතාවක් බඳු ය. එම ජනාවාසකරණ මතය කුඩා කල දරුවන්ට කියවන කතාන්දරවල තිබූ අහසේ වූ පා වන මාළිගා සිහිපත් කරයි. මන්ද යත් එය ද එක්තරා ආකාරයකට අහසේ පා වන සුරංගනා ලෝකවලට සමාන පුවතකි. මේ සුරංගනා කතාව ලියන ලද්දේ සුප්‍රකට සුරංගනා කතාකරුවන් වන ග්‍රිම් සහෝදරයන් විසින් නො ව බ්‍රවුන් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය Geofry Landis විසිනි. ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු, අභ්‍යවකාශ ඉංජිනේරුවකු මෙන් ම ප්‍රබන්ධ රචකයකු ද වේ. ඔහු හොඳ ම විද්‍යාප්‍රබන්ධ කතාවලට හිමි වන හියුගෝ සම්මානය මෙන් ම නෙබියුලා සම්මානය ද දිනා ඇත.

එහෙයින් ම සමහරක් සැක කළේ සිකුරු ජනපදකරණය පිළිබඳ ලැන්ඩිස්ගේ ප්‍රකාශ හුදු ප්‍රබන්ධ කතා කියා ය. එහෙත් එය එසේ නො වේ. ඔහු සිකුරු ගැන විද්‍යා ප්‍රබන්ධ ලියූ බව සැබෑවකි. එහෙත් ඔහු සිකුරු ජනාවාසකරණයට අදාළ ව නිබන්ධ ලියා ප්‍රකට ජර්නලවල පළ කළේ ය. Astronobiology : The Case for Venus එවැන්නකි. එම පත්‍රිකාව මඟින් ලැන්ඩිස් පෙන්වා දුන්නේ සිකුරු භූමිය මත උෂ්ණත්ව ගැටලු පැවතියත් භූමියේ සිට ඉහළට, එනම් කිලෝමීටර 55ක් පමණ ඔබ්බෙන් වායුගෝලයේ මනුෂ්‍ය වාසයට උචිත පරිසරයක් පවතින බව ය.

කෙසේ වෙතත් එය කිසිසේත් ම පහසු හා සරල කාර්යයක් නො වනු ඇතැයි ද ලැන්ඩිස් සඳහන් කරයි.

2020 දෙසැම්බර් මාසයේ දී ආචාර්ය ලැන්ඩිස් NASA Glen Research Centreys § Setting Venus A City in the Clouds මැයෙන් තවත් අනගි නිබන්ධයක් ඉදිරිපත් කළේ ය. එමඟින් ඔහු තම න්‍යාය තවදුරටත් ඉදිරියටත් ගෙන යමින් සිකුරුවල පා වන නගර ඉදි කළ යුතු ආකාරය පැහැදිලි කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ පා වන නගර සිකුරු පොළොවට 50 km ඉහළින් හා 61 km ප්‍රමාණයට පහළින් ඉදි කළ යුතු බවයි. පාවෙන නගර කීවාට මේවා සිමෙන්තිවලින් හෝ ගල්වලින් ඉදි කෙරෙන නගර නො වේ. මෙය බැලූනයක් තුළ ගොඩනැඟෙන්නකි.

ලැන්ඩිස් කියන්නේ කිලෝමීටරයක පමණ විෂ්කම්භයක් ඇති බැලූනයක් සිකුරු අහසේ රැඳවීමෙන් මේ පා වන මන්දිර ගොඩනැඟිය යුතු බවයි. කිලෝමීටර එකක විෂ්කම්භය සහිත බැලූනයකට ටොන් 70,000 පමණ ස්කන්ධයක් දරාගත හැකි වනු ඇත. අවශ්‍ය නම් බැලූනයේ විෂ්කම්භය කිලෝමීටර දෙක තරම් පුළුල් කළ හැකි බව ද ලැන්ඩිස් ප්‍රකාශ කරයි. මේ බැලූන පුරවනු ලබන්නේ නයිට්‍රජන් හා ඔක්සිජන් වායුවෙනි. සිකුරු වායු ගෝලය බරැති කාබන්ඩයොක්සයිඩ් පිරුණු වායුගෝලයක් හෙයින් ඊට වඩා මෙම වායූන් සැහැල්ලු වීම හේතුවෙන් බැලූන සඳහා අවශ්‍ය උඩුකුරු තෙරපුම එමඟින් නිර්මාණය වෙයි.

ආදරයේ දෙවඟන අපායක් මවයි

මෙලෙස ඉහළ වායුගෝලයෙහි ජනාවාස හදන්නට සිදු වන්නේ සිකුරු මත පවතින අධික උෂ්ණත්වය හේතු කොටගෙන ය. සිකුරු ග්‍රහයා වීනස් යන නමෙන් හඳුන්වන්නේ ප්‍රේමයට අධිගෘහිත දෙවඟන වන වීනස්ට ගෞරව පිණිස වුවත් සිකුරු ප්‍රේමණීය සුන්දර භූමියක් නො වේ. එය ගිනියම් අපායකි. සිකුරු මතුපිට උණුසුම ෆැරන්හයිට් 900කට ආසන්න වේ (පෘථිවියේ මේ අගය ෆැරන්හයිට් 65ක් පමණ වේ.) පෘථිවියේ මෙන් 10 ගුණයකටත් වඩා වැඩි උෂ්ණත්වයක් සහිත ස්ථානයක් බව මේ දත්ත සැසඳීමෙන් පෙනේ. ලිබියානු කාන්තාරවල පවා උෂ්ණත්වය ෆැරන්හයිට් 136ක් ඉක්මවා නො යයි. එහෙයින් ෆැරන්හයිට් 900ක රස්නයක් ඇති භූමියක පය ගසා සිටීම කළ හැකි දෙයක් නො වේ.

සිකුරු ග්‍රහලොව අපායක් ලෙස හැඳින්වෙන්නේ උෂ්ණත්වය නිසා පමණක් නො වේ. එහි පවතින අධික පීඩනය ද දරාගත නොහැකි එකකි. එය පෘථිවියේ පීඩනය මෙන් 90 ගුණයකටත් අධික ය. එසේ ම එහි වායු ගෝලයේ ඔක්සිජන් දුලබ ය. එය පිරී ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්වලිනි. (CO2 – 96%) එසේ ම මේ ග්‍රහලොවට නිරන්තරයෙන් සල්ෆියුරික් වැසි කඩා වැටේ.

එසේ වෙතත් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වායුගෝලයේ ජනාවාස පිහිටුවීමෙන් උෂ්ණත්ව, පීඩන ආදී ගැටලු මැඬපවත්වා සිකුරු ජනාවාසකරණය කළ හැකි බවයි. අප කලින් ද සඳහන් කළ පරිදි සිකුරු අහසේ (එනම් වායු ගෝලයේ) උෂ්ණත්වය හා පීඩනය මනුෂ්‍යයාට සුදුසු මට්ටමක පවතියි.

බැලූන පිපිරී ගිය හොත්

පා වන බැලූනවල ඉදි වන මේ සුරංගනා ලෝක ගැන මාධ්‍ය හා කළ කතාබහක දී නැඟුණ එක් ප්‍රශ්නයක් වූයේ බැලූන ඉරී යන්නට හෝ පිපිරී යන්නට ඉඩක් නැද්ද කියායි. පිපිරී යෑමකට ඉඩක් නැති බව ලැන්ඩිස් කියා සිටියේ ය. කෙසේ වෙතත් කුඩා සිදුරු ඇති වීමට ඉඩ ඇති බව ද ඔහු සඳහන් කරයි. එසේ වුව ද එමඟින් විශාල හානියක් ක්‍ෂණික ව ඇති වන්නේ නැත. හානියක් වන්නේ ඒ සිදුරු පිළිසකර නො කර සිටිය හොත් ය.

සිකුරු ග්‍රහයා පරිවර්තනය කිරීම

වායුගෝලයේ පා වන බැලූන හැර සිකුරු ජනාවාසකරණය පිළිබඳ පවතින අනෙක් ප්‍රධාන අදහස වන්නේ සිකුරු ග්‍රහලෝකයේ පරිසරය මිනිස් වාසයට උචිත වන පරිදි කෘත්‍රිම ව වෙනස් කිරීමයි. (Terraforming) මෙම අදහස වඩාත් විද්‍යාත්මක පසුබිමක හිඳිමින් මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ කාල් සේගන් විසිනි. ඒ 1961 දී ය. මෙහි දී සිකුරු මත උෂ්ණත්වය පහළ දැමීමට, අධික කාබන්ඩයොක්සයිඩ් හා සල්ෆියුරික් අම්ලය ඉන් ඉවත් කිරීමට හා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට හැකි පරිදි කෘත්‍රිම බලපෑම් මඟින් සිකුරු ග්‍රහයාගේ පරිසරය වෙනස් කිරීම අදහස් කෙරෙයි. ප්‍රභාසංශ්ලේෂණය කරමින් වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පෙරළන බැක්ටීරියා විශේෂ සිකුරු වායුගෝලයට හඳුන්වා දීම වැනි විසඳුම් මෙහි දී කතා කෙරෙයි. කෙසේ වෙතත් මෙම අදහස් සැබෑවක් බවට පත් කිරීමට ආරම්භ කිරීමට හෝ හැකි වනු ඇත්තේ තවත් පරම්පරා ගණනාවක් ගත වූ පසුව ය. එ නිසා දැනට ඇති හොඳ ම විසඳුම බැලූන ජනාවාස වෙයි.

අඟහරු වෙනුවට සිකුරු තෝරාගනිමු ද?

බොහෝ දෙනකු අභ්‍යවකාශ ජනපදකරණය ගැන කතා කරද්දී අවධානය යොමු කරන්නේ අඟහරු වෙතට ය. එහෙත් ආචාර්ය ලැන්ඩිස් පෙන්වා දෙන්නේ දැන් අප අඟහරුට ම කොටු නො වී සිකුරු වැනි විකල්ප කෙරෙහි ද යොමු විය යුතු බවයි. උෂ්ණත්වය අතින් අඟහරු පෘථිවියට හිතකර වෙතත් බොහෝ කරුණු අනුව එය ගැටලු ඇති කරයි. එක් කරුණක් නම් අඟහරුගේ ගුරුත්ව වෙනසයි. අඟහරු මත ඇත්තේ පෘථිවියේ ගුරුත්වය මෙන් 0.38ක ගුරුත්වයකි. මෙම ගුරුත්ව වෙනස හේතු කොටගෙන අඟහරු මතුපිට ජීවත් වන කෙනකුගේ අස්ථි හා මාංශපේශිවලට හානි පැමිණීමට ඉඩ ඇත. එහෙත් සිකුරුගේ ගුරුත්වය අපගේ ගුරුත්වයෙන් 0.9ක් පමණ වන අතර එය බොහෝ දුරට අපට සමාන ය. එසේ ම සිකුරු වෙත යෑමට දරන්නට වන වියදම හා වෙහෙස ද අඟහරු වෙතට සාපේක්‍ෂ ව ඉතා අඩු ය. මන්ද සිකුරු පිහිටා ඇත්තේ අඟහරු හා සසඳන කල අපට වඩාත් ළඟිනි. එසේ ම සිකුරුගේ විෂ්කම්භය අපට අතිශයින් සමාන ය. එනිසා ම සිකුරු හැඳින්වෙන්නේ පෘථිවියේ නිවුන් සහෝදරිය ලෙස ය.

දැනට හෙළි වී ඇති ආකාරයට අඟහරු පොළොවෙහි ඉතා විෂ සහිත වැලි පවතී. එසේ ම විකිරණ පතිත වීමේ ගැටලු ද ඇත. පසුගිය දා Macquarie විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Simon George ඇතුළු පිරිස විසින් කරන ලද Scientific Reports ජර්නලයේ පළ වූ නිබන්ධයකින් කියැවුණේ අඟහරු භූමියෙහි (පසේ) අධික විෂ සහිත දේ පවතින බවත්, ඒවා මනුෂ්‍ය ශරීරයට අතිශයින් අහිතකර බවත් ය. සිකුරුගේ උෂ්ණත්වය ගැන හා ඔක්සිජන් රහිත වායුගෝලය ගැන කතා කරන බොහෝ දෙනා අඟහරුගේ ඔක්සිජන් අඩු වායුගෝලය ගැන කතා නො කරති.

අඟහරුගේ ඇත්තේ ද සිකුරුගේ තරම් ම ඉහළ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයකි :අඟහරු 95්‍ර සිකුරු 96්‍ර*. එහෙයින් හුස්ම ගැනීම යන කරුණ සැලකූ විට අඟහරු සතු කිසිදු වාසියක් නැත. එහෙත් සිකුරුගේ ඉහළ වායුගෝලයේ තැනිය හැකි පා වන මන්දිර හරහා මේ සියලු ප්‍රශ්නවලට (උෂ්ණත්ව, පීඩන හා O 2) විසඳුම් ලැබේ.

• ආචාර්ය එම්. පී. රත්නායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications