Home Features නව තාක්ෂණ වාණිජකරණය සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය

නව තාක්ෂණ වාණිජකරණය සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය

by Sathya

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ  (Sri Lanka Institute of Nanotechnology – SLINTEC) ප්‍රධාන ව්‍යාපාර ක්‍රමෝපාය වන්නේ නව තාක්ෂණයන්ට අදාළ බුද්ධිමය දේපළ වාණිජකරණය මඟින් වෙළෙඳපොළට හඳුන්වා දීම ය.

SLINTEC ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බෙහි සමාජ, පාරිසරික සහ ආර්ථික තත්ත්වයන් නංවාලීම සඳහා, වාණිජකරණය ඉලක්ක කර ගනිමින් වෙළඳපොළ ඉල් ̈ම මත පදනම් වූ පර්යේෂණ සහ සමාජයීය යහපත ගොඩනැංවීම පිළිබඳ පර්යේෂණ යන අංශ දෙකට ම අවධානය යොමු කරයි.

SLINTEC තාක්ෂණ හුවමාරු ඒකකය (Tech-nology Transfer Unit) එහි පර්යේෂණ සහ සංවර්ධනයන් (Research and Developments) වාණිජකරණය සම්බන්ධයෙන් කටයුතු කරයි. මෙය පර්යේෂණ විද්‍යාඥයන් සමග සමගාමී ව කරන්නා වූ සහයෝගී ක්‍රියාවකි. SLINTEC මේ නවෝත්පාදන ක්‍රියාවලිය කළමනාකරණය කරන්නේ NASA හි තාක්ෂණික සූදානම මට්ටම සම්මුතියට (Technology Readiness Level-TRL) අනුවර්තනය කිරීමෙනි. ආයතනයේ පර්යේෂණ වාණිජකරණය වේගවත් කිරීමේ අරමුණින් SLINTEC තාක්ෂණ හුවමාරු (Technology Transfer Unit) 2018 මැද භාගයේ දී පිහිටුවන ලදී. මේ වන SLINTEC විසින් ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද පේටන්ට් බලපත්‍ර 17ක් ගොනු කර ඇති අතර එම පේටන්ට් බලපත්‍ර බොහොමයක් වාණිජකරණය කර ඇත.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මඟින් වාණිජකරණය වූ නව තාක්ෂණයන්

ග්‍රැෆීන් (Graphene) මත පදනම් වූ ඊයම් අම්ල (Lead-acid) බැටරිය

ග්‍රැෆීන් (Graphene) මත පදනම් වූ Lead-acid බැටරිය Associated Battery Manufacturers (ABM & Exide Battery) සමග එක් ව සංවර්ධනය කරන ලද නිෂ්පාදනයකි. මේ ග්‍රැෆීන් පාදක බැටරිය ආරෝපණය වීමේ වේගය අන් බැටරිවලට වඩා 50%කට වඩා වැඩි අතර බැටරියේ ආයු කාලය අන් බැටරිවලට වඩා 5 ගුණයකින් වැඩි ය. එසේ ම, ග්‍රැෆීන් මඟින් අධි ආරෝපණයන් දරා ගැනීමේ හැකියාව මෙන් ම ජලය මගින් සිදුවීමට ඉඩ ඇති හානිය අවප්‍රමාණය කිරීමේ හැකියාවෙන් ද යුක්ත ය. මේ නව බැටරියේ පළමු වාණිජ  ABM / Ceylon Graphene Technologies සමග ළඟ දී ම වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත.

ග්‍රැෆීන් (Graphene) මත පදනම් වූ ඊයම් අම්ල (Lead-acid) බැටරිය
ග්‍රැෆීන් (Graphene) මත පදනම් වූ ඊයම් අම්ල (Lead-acid) බැටරිය

ස්මාර්ට් මුඛ ආවරණ සංවේදකය (Smart Mask Sensor)

BreathTech S3 ස්මාර්ට් මුඛ ආවරණ SLINTEC නවෝත්පාදන ලයිස්තුවේ නවතම නිෂ්පාදනය වෙයි. එය සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් සඳහා විශේෂිත වූ අධි තාක්‍ෂණික නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් වන CirQ Technologies සහ ජාත්‍යන්තර ඇඟ ̈ම් සැලසුම්, සංවර්ධන සහ නිෂ්පාදන සපයන ප්‍රමුඛ පෙළේ ගෝලීය නිෂ්පාදකයෙකු වන Hirdaramani සමග සහයෝගී ව සංවර්ධනය කරන ලදී.

ලාභදායී, අතිශය කුඩා සහ පහසුවෙන් සවි කළ හැකි ශ්වසන නිරීක්ෂණ ස්මාර්ට් මුහුණු ආවරණය යනු ශ්‍රී ලංකාවේ මිනිරන් ග්‍රැෆීන් භාවිතයෙන් SLINTEC විසින් සංවර්ධනය කරන ලද පේටන්ට් සහිත නිෂ්පාදනයකි. වෙළෙඳපොළේ ප්‍රථම තිරසාර ස්මාර්ට් මුහුණු ආවරණය ලෙස මෙය හඳුන්වා දිය හැකි ය. ටෝකියෝ (2020) සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කණ්ඩායමේ සම්පත් දායකයකු ලෙස, Hirdaramani Group විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සකස් කරන ලද නිල ඇඳුම් කට්ටලයට BreathTech S3 මුහුණු ආවරණ ඇතුළත් කර ඔවුන්ගේ ආරක්ෂාව, සුවපහසුව සහ යහපැවැත්ම සහතික කරන ලදී.

BreathTech S3 ස්මාර්ට් මුඛ ආවරණ

BreathTech S3 සංවේදකය ආරක්ෂිත ජංගම දුරකථන යෙදවුමක් (app) හරහා තත්‍ය කාලීන ව පැළඳ සිටින අයගේ ශ්වසන වේගය නිරීක්ෂණය කරන අතර එමඟින් මුඛ ආවරණයේ කාන්දු වීම පිළිබඳ දැනුම් දීම් ද සිදු කරයි.

COVID-19 ආශ්‍රිත තාක්ෂණයන්

COVID-19ට එරෙහි ව සටන් කිරීමේ අරමුණින්, COVID-19 පරීක්ෂණ සඳහා සාම්පල එකතු කිරීමට භාවිතා කරන Swab ලංකාවේ නොමැති අවස්ථාවක SLINTEC මේ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිලෝම ඉංජිනේරුකරණය (Reverse-Engineer) කිරීමට සමත් විය.

වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI), රිජ්වේ ආර්යා රෝහල සහ High & Fashion Holding Limited මේ නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩනංවන ලදී. SLINTEC විසින් දිනකට swabs (3000)ක් නිෂ්පාදනය කරන ලද අතර මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත swabs 200,000 ක් ලබා දී ඇත.

SLINTEC LAMP CO-VID-19 පරීක්ෂණ කට්ටලය

රට තුළ COVID-19වෛරසය හඳුනාගැනීමේ හැකියාව ඉහළ නැංවීමේ ප්‍රයත්නයක් ලෙස, SLINTEC විසින් 2020 මාර්තු මස අග දී වයිරස් RNA හඳුනාගැනීම සඳහා ලාභදායී COVID -19 රෝග විනිශ්චය පරීක්ෂණ කට්ටලයක් සංවර්ධනය කිරීම සඳහා එහි කාර්ය මණ්ඩලය සහ පහසුකම් වේගයෙන් ප්‍රතිනිර්මාණය කරන ලදී.

ශ්‍රී  ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (SJP) සමග සහයෝගී ප්‍රයත්නයකින් සායනික නිදර්ශකවල SARS-CoV-2 හඳුනාගැනීම සඳහා ඉතා ඵලදායි ක්‍රමයක් ලෙස SLINTEC විසින් LAMP PCR (RT-LAMP) තාක්ෂණය භාවිත කිරීම සාර්ථක ව ප්‍රදර්ශනය කරන ලදී.

පරීක්ෂණ කට්ටලය

මූලික සංකල්පය සනාථ කිරීමෙන් පසුව, SLINTEC RT-LAMP පරීක්ෂණය SJP කණ්ඩායම සතුව පැවති
RT-qPCR පරීක්ෂණය සමග සංසන්දනය කිරීමට හැකි බව ජාතික බෝ වන රෝග පිළිබඳ ආයතනය
(IDH) විසින් සපයනු ලබන රෝගීන් ගෙන් ලද වයිරස් සාම්පල  භාවිතයෙන් සනාථ කරන ලදී. මේ තාක්ෂණය වත්මන් PCR තාක්ෂණයට සාපේක්ෂව 4 ගුණයක් වේගවත් වන අතර, ලාභදායී සහ ඉහළ සංවේදීතාවයකින් ද යුක්ත ය.

SLINTEC RT-LAMP පරීක්ෂණ තාක්‍ෂණය වාණිජකරණය කර Browns and Pharma Limited වෙත මාරු කරන ලද අතර එය SLINTEC සහ Browns Pharma Limited අතර හවුල් ව්‍යාපාරයක් වන Ceylon Nano Diagnostics Pvt Ltd මගින් 2021 දී වෙළෙඳපොළට නිකුත් කරන ලදී.

ක්ෂුද්‍ර ජීවී නාශක ආලේපනය (Anti-microbial Coating)

ක්ෂුද්‍ර ජීවී නාශක ආලේපනය
ක්ෂුද්‍ර ජීවී නාශක ආලේපනය

SLINTEC විසින් බැක්ටීරියා සහ වයිරස්වලට එරෙහි ව ක්‍රියා කරන නැනෝ ආකලන සහිත ප්‍රති-ක්ෂුද්‍ර ජීවී, ජලය මත පදනම් වූ ආලේපනයක් නිපදවා ඇත. මේ ආලේපනය  ́නෑ ම පෘෂ්ඨයක එහි පෙනුම වෙනස් නො වන ලෙස මතුපිට මත ආලේප කළ හැකි ය. මේ තාක්ෂණය මඟින් ආලේපනය යොදන මතුපිට මෙන් ම අවට වාතයේ ක්ෂුද්‍ර ජීවීන් තුරන් කළ හැකි අතර එහි ආරක්ෂිත බලපෑම මාස කිහිපයක් දක්වා පවතී. මෙය එක්සත් රාජධානියේ කොරෝනා වයිරසයට එරෙහිව පරීක්‍ෂා කළ ශ්‍රී ලංකාවේ පළමු ක්ෂුද්‍ර ජීවී නාශක ආලේපනයයි. මේ තාක්ෂණය වාණිජකරණය කිරීම සඳහා Multilac PLC Sri Lanka වෙත බලපත්‍ර ලබා දී ඇත.

ඉවතලන තේ කුඩු මගින් ස්වභාවික රෙදි සායම් නිපදවීම (Tea Dyeing)

SLINTEC විසින් අපද්‍රව්‍ය තේ භාවිතයෙන් නව ස්වාභාවික රෙදි සායම් නිපදවීමේ තාක්ෂණයක් සොයා ගත් අතර එම තාක්ෂණය වාණිජකරණය කිරීම සඳහා Dynawash වෙත 2019 ජනවාරි මාසයේ දී බලපත්‍ර ලබා දෙන ලදී. පසු ව මේ පේටන්ට් බලපත්‍රය 2020 දී Dynawash වෙත මාරු කරන ලදී. මේ තාක්ෂණය සඳහා ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සම්මාන උළෙලේ දී SLINTEC වෙත විශේෂ ඇගයීමක් හිමි විය.

මේ JASTECA සම්මාන උළෙල 2020 අගෝස්තු 22 වැනි දින කොළඹ දී පැවැත්විණි. තිරසාර තාක්ෂණික නිපැයුමක් ලෙස තේ අපද්‍රව්‍ය වාණිජමය ස්වාභාවික ඩයි වර්ගයක් බවට පත් කිරීමට දියුණු කළ තාක්‍ෂණය අගයමින් මේ සම්මානය පිරිනමන ලදී.

රූපලාවණ්‍ය යෙදුම් සඳහා රන් නැනෝ අංශු (Gold Nano Particles for Cosmetics)

SLINTEC විසින් රන් නැනෝ අංශුවල අඩංගු වයස්ගත වීම වැළැක්වීමේ සහ ප්‍රති-ඔක්සිකාරක ගුණයන් රූපලාවණ්‍ය යෙදුම්වල භාවිත කිරීම සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදනවලට රන් නැනෝ අංශු ඇතුළත් කිරීමේ ක්‍රමයක් සකස් කෙරිණි.

British Cosmetics Pvt Ltd විසින් SLINTEC සමගින් 2018 ජුනි මාසයේ දී නිපදවන ලද මේ රන් නැනෝ අංශු අඩංගු ඔවුන්ගේ නව මුහුණු ආලේපන නිෂ්පාදන (Advanced Gold Therapy Range) 2019 මාර්තු මාසයේ දී එළිදක්වන ලදී. මේ වන විට රූපලාවණ්‍ය නිෂ්පාදනයට SLINTEC විසින් British Cosmetics Pvt. Ltd වෙත දළ වශයෙන් කිලෝග්‍රෑම් 90ක පමණ රන් නැනෝ අංශු ප්‍රමාණයක් සපයා ඇත.

සෙමින් මුදා හරින නැනෝ පොහොර (Slow Release Nano Fertilizer)

සෙමින් මුදා හරින නැනෝ පොහොර

SLINTEC විසින් යූරියා සමග හයිඩ්‍රොක්සිඇපටයිට් (HA) නැනෝ අංශු ක්‍රියාකාරී කිරීම මගින් නයිට්‍රජන් සහ පොස්පරස් පෝෂක කොටස් පැළයට අවශ්‍ය ආකාරයට සෙමින් නිකුත් කෙරෙන පොහොර නිෂ්පාදනයක් නිපදවා පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇත. අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (RRDI)  සහ තේ පර්යේෂණ ආයතනය (TRI) සමග SLINTEC විසින් අවශ්‍ය ක්ෂේත්‍ර අත්හදා බැලීම් ද සිදු කර ඇත. මේ සෙමින් මුදා හරින (slow release) නැනෝ පොහොර කාලයත් සමග ක්‍රමානුකූල ව පෝෂ්‍ය පදාර්ථ මුදා හරින බැවින්, පොහොර කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. එමඟින් වැඩි අස්වැන්නක් සඳහා අවශ්‍ය පෝෂක ප්‍රමාණවත් ව සපයයි. එපමණක් නොව, සෙමින් නිකුත් කරන නයිට්‍රජන් පොහොර මඟින් යූරියා භාවිතය අඩු කළ හැකි අතර, එමඟින් නිෂ්පාදනය සඳහා පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට සහ හරිතාගාර වායු විමෝචනය ආදිය (carbon footprint) අඩු කිරීමට ද උපකාරී වේ.වසර ගණනාවක් පුරා SLINTEC විසින් දියුණු කරන ලද සහ වාණිජකරණය වූ නිෂ්පාදන තාක්‍ෂණයන් අතර කැපී පෙනෙන ඒවා කිහිපයක් මෙලෙස දක්වා ඇත. මේ අන්දමින් ඉදිරියටත් ශ්‍රී ලාංකීය කර්මාන්තවලට නව තාක්ෂණික විසඳුම් ලබා දීම මඟින් ඔවුන්ගේ නිෂ්පාදනවලට වටිනාකමක් එක් කිරීමට සහ එමඟින් මෙරට ආර්ථිකයට ධනාත්මක බලපෑමක්  කිරීමට SLINTEC අඛණ්ඩ ව උපකාර කරයි.

ආචාර්ය කසුන් ප්‍රබුද්ධ දිසානායක

රවින්ද සොයිසා

සුහර්ත වේරගොඩ

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications