ඒ වර්ෂ 1990 අගෝස්තු 12 වැනි දායි. ග්‍රීෂ්මය සමය හාත්පස වෙළාගෙන තිබුණා. ෆොසිල අධ්‍යයනය සහ කැණීම අරමුණු කරගත් Black Hills ආයතනයේ සේවකයන් පිරිසක් එදින බටහිර දකුණු ඩැකෝටාවේ Cheyenne River Indian Reservation නම් වූ ෆොසිල බහුල වශයෙන් හමු වන පෙදෙසේ සිදු කළ කැණීමකින් Edmontosaurus වර්ගයට අයත් ඩයිනොසෝරයෙකුගේ අස්ථි කොටස් සොයාගන්නට සමත් වුණා. ආපසු පිටත් වන්නට සූදානම් වෙද්දී ට්‍රක් රථයේ රෝදයක දෝෂයක් පැන නැඟීම හේතුවෙන් ගමන තරමක් ප්‍රමාද වුණා. බොහෝ දෙනා ට්‍රක් රියේ අලුත්වැඩියා කටයුතු සඳහා නගරයට පිටත් වන අතරේ කණ්ඩායමේ සිටි ෆොසිල රැස් කරන්නියක වූ Sue Hendrickson (සූ හෙන්ඩ්‍රික්සන්) ඔවුන්ගේ කැණීම්වලින් බැහැර පිහිටි ගල් කුළු තනි ව ම පරික්ෂා කරන්නට තීරණය කළා. කඳු ගැටයක් පාමුලින් ඇවිද යන ඇයට දැකගත හැකි වූයේ තරමක් කුඩා අස්ථි කැබැලි කිහිපයක්. තවත් සුපරික්ෂාකාරී ව විමසා බැලූ ඇයට කඳු ගැටයේ බිත්තිය අතරින් තරමක් විශාල අස්ථි කොටස් ද මතු ව තිබෙන බව දැකගැනීමට අපහසු වූයේ නැහැ. අස්ථි කොටස් දෙකක් දෝතට ගෙන වහා ම සිය කඳවුර වෙත පැමිණි ඇය මුලින් ම කළේ Black Hills ආයතනයේ සභාපති වූ පීටර් ලාසන් ඇමතීමයි. ඇටකටුවල වූ රේඛා සහ රටා අනුව යමින් ඔහු නිගමනය කළේ සූට හමු වී ඇත්තේ මිහිමත ඇවිද ගිය උරගයන් අතුරේ රජ කිරුළ දැරූ Tyrannosaurus rexටඅයත් අස්ථි කොටස් බවයි. නොබෝ දිනකින් මේ ෆොසියලය නිරාවරණය කරගනු ලැබුණේ වඩාත් සම්පූර්ණ ම T. rex ෆොසිල අතරට ද එක් වෙමින්.
එහෙත් නො සිතූ ගැටලුවක් පැන නැඟුණා. ඒ ෆොසිලයේ නීත්‍යනුකූල හිමිකාරිත්වය පිළිබඳවයි. T. rex ෆොසිලය හමු වූ ඉඩමේ හිමිකාරිත්වය දැරුවේ මොරිස් විලියම්ස් නමැති ස්වදේශීය අමෙරිකානු ගෝත්‍රයකට අයත් පුරවැසියෙක්. Black Hills විසින් විලියම්ස්ට සිය ඉඩමෙන් මේ ෆොසිලය කැන ඉවත් කරගෙන යෑමට අමෙරිකානු ඩොලර් 5000ක මුදලක් ගෙවා තිබුණා. එනමුත් ඒ ඉඩමේ සැබෑ අයිතිය හිමි ව තිබුණේ එක්සත් ජනපද අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවටයි. 1992 දී FBI බියුරෝව විසින් ෆොසිලය තිබෙන ඉඩම සහ Black Hills කඳවුරු වටලනු ලැබුවා. නඩු විභාගයකින් සියල්ල නිරාකරණය වන තුරු ෆොසිලය රාජ සන්තක කෙරුණා. ෆොසිලයට සෘජු ව සම්බන්ධ නො වන වැරදි කිහිපයක් ම අනාවරණය වීම නිසා මොරිස් විලියම්ස් දෙ වසරක සිර දඬුවමක් නියම කෙරුණත් ෆොසිලයේ නීත්‍යනුකූල හිමිකාරිත්වය ඔහුට ලබා දීමට අධිකරණය තීරණය කළා. සුප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන Sotheby’s හරහා ඔහු එය වෙන්දේසි කරන්නට තීරණය කරන්නේ මෙවිටයි. චිකාගෝ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය (Field Museum of Natural History) මේ ගැන සිය අවධානය යොමු කළා. එකල විද්‍යාවටත්, කෞතුක වස්තූන්වලටත් ලැදි බොහෝ දෙනා සිතුවේ මේ T. rex ෆොසිලය මහජනයාගෙන් මිදී ධන කුවේරයෙකුගේ ආලින්දය සරසන්නට යනු ඇතැ යි කියායි. චිකාගෝ කෞතුකාගාරය පවා පසු වූයේ මේ ෆොසිලය දිනාගන්නට ප්‍රමාණවත් අරමුදල් රැස් කරගත හැකිවේ දැ යි දෙගිඩියාවෙන්. කෙසේ නමුත් අවසානයේ දී වෝල්ට් ඩිස්නි, මැක්ඩොනල්ඩ්ස් ආදී විවිධ පාර්ශ්ව මඟින් ලැබුණු අරමුදලක එකතුවෙන් ඩොලර් මිලියන 8.3ක ලංසුවකට එහි අයිතිය දිනාගන්නට කෞතුකාගාරය සමත් වුණා. FMNH PR 2081 ලෙස කේත නාමකරණය වූ මෙය Field Museum of Natural History කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. අදටත් එය ජනප්‍රිය ව ඇත්තේ Sue යන නමින්.

එහෙත් ඉන් පසු වෙන්දේසි වූ බොහෝ ෆොසිල කොටස් Sue තරම් වාසනාවන්ත වූයේ නැහැ. මේ නිම නො වන විවාදය යළි අලුත් වූයේ ඉකුත් අගෝස්තු මාසයේ වසර මිලියන 77ක් පැරණි Gorgosaurus ෆොසිලයක් ඩොලර් මිලියන හයක මුදලකට තනි පුද්ගලයෙකු වෙත වෙන්දේසි වීම නිසයි. මැක්සිමස් ලෙස හැඳින්වෙන T. rex හිස් කබලක් ද Sotheby’s සමාගම යටතේ වෙන්දේසි වීමට නියමිත ව තිබුණේ ඩොලර් මිලියන 15ත් 20ත් අතර ලංසුවකටයි. එය සුවිශේෂ වන්නේ මෙතෙක් කලකට හමු වූ T. rex හිස්කබල් අතරින් එය වඩාත් හොඳ තත්ත්වයේ පසු වන අතිශය දුර්ලභ එකක් වීම නිසයි. එනමුත් ඔවුන්ගේ අපේක්ෂා බිඳ හෙළමින් එය තුන්ඈවර වූයේ ඩොලර් මිලියන 6.1කටයි. මේ වසරේ ම ඩොලර් මිලියන 6ක ලංසුවකට Gorgosaurus ෆොසිලයක් ද අලෙවි වුණා. එය ඒ වර්ගයට අයත් ඩයිනොසෝරයන් අතුරින් පෞද්ගලික සන්තකයට ගිය පළමු වැන්නායි. ෆොසිල සම්බන්ධයෙන් විද්‍යාත්මක කටයුතු ඉටු කිරීම සිය අභිප්‍රාය කරගත් පාෂාණධාතුවේදීන් (paleontologists) හඬ නඟන්නේ ඩයිනොසෝර ෆොසිල අධික මිලකට ධන කුවේරයන්ගේ පෞද්ගලික එකතුවලට මුහු වීම පිළිබඳ යළිත් සිතා බැලිය යුතු ව තිබෙන බවයි. මේ විවාදය අලුතින් පටන්ගත් දෙයක් නො වෙයි. ෆොසිල වාණිජ්‍යකරණය වීම, පාෂාණධාතු විද්‍යාවේ ඇරඹුම තරම් ම පැරැණියි. මතුපිටින් පෙනෙනවාට වඩා දෙපාර්ශ්වය පිළිබඳ ව ම මැදහත් නෙතින් බැලිය යුතු වන්නේ විද්‍යාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විද්‍යාව ම පමණක් යොදාගත නො හැකි වීම නිසයි. බටහිර ලෝකය තුළ විද්‍යාවේ නැඟීම සිදු වන්නේ ධනවාදය සමග ද ක්‍රමානුකූල ව මුහු වීමෙන්. එනිසා ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙය එක ම කඩුවේ දෙ පැත්තක් බවයි. විද්‍යාත්මක වටිනාකමක් ඇති ෆොසිල අලෙවි නො කරන්නැ යි කීමට පාෂාණධාතුවේදීන් හට සාධාරණ හේතු තිබෙනවා. මූලික වශයෙන් ගත් විට විද්‍යාව මහජනතාවගේ ව්‍යාපාරයක්. එය සමාජයට විවර ව පැවතිය යුතුයි. මෙසේ කැණීම් මඟින් සොයා ගන්නා නිදර්ශක අඩු ම තරමින් විද්‍යා ප්‍රජාවටවත් ප්‍රවිෂ්ඨ විය නො හැකි වපසරියක පවතින්නේ නම් නව සොයා ගැනීම්වල සත්‍යතාව සහ වලංගුතාව තහවුරු කර ගැනීමට මෙන් ම දැනට පවතින නිදර්ශක අධ්‍යයයනයට පවා ඉඩ ඇහිරෙනවා. එය විද්‍යාවට දොර වසා දැමීමක්. කිසි කලෙක දෑසින් නො දුටු සතුන් ගැන ගවේෂණය කිරීමේ දී ඔවුන් අතුරින් ශේෂ වී ගිය සුන්බුන් සොයා ගැනීම අතිශය වැදගත්. එක් වර්ගයකට අයත් සතෙකුගේ එක් ෆොසිලයක් අධ්‍යයනය කිරීමෙන් ඒ සත්ත්ව සන්තතියේ බාහිර පෙනුම ගැන නිවැරදි කියැවීමක් ලබා ගන්නට බැහැ. ඇතැම් විට හමු වන ෆොසිලයේ යම් යම් කොටස් නැසී ගොස් තිබිය හැකියි. එබැවින් එක් සත්ත්ව වර්ගයකගේ පොදු ලක්ෂණ සම්බන්ධයෙන් සම්මුතියකට ඒමට නම් හොඳ තත්ත්වයේ පසු වන ෆොසිල ගණනාවක් පරීක්ෂා කළ යුතුයි. යම් හෙයකින් මේ ක්‍රියාවලිය තුළ හිඩැස් තිබුණ හොත් කිසි දා පහළ නො වූ සත්ත්ව විශේෂයක් වුව ද අත්වැරදීමකින් මැවෙන්නට ඉඩ තිබෙනවා. 1990 දී වූ සිදු වීමක් මෙයට කදිම උදාහරණයක් සපයනවා. එක්තරා පුද්ගලයෙක් Tucson Gem and Mineral Show ලෙස හැඳින්වෙන ප්‍රදර්ශනයකින් පැරැණි ෆොසිලයක් මිලට ගත්තා. පෙනුමින් ඌ තරමක් අසාමාන්‍ය ඩයිනොසෝරයෙක්. කුරුල්ලෙකුට සම කළ හැකි පෙනුමක් තිබෙන්නට ඇතැ යි සැක කළ හැකි ඒ ෆොසිලය ඇතැම් ජනමාධ්‍ය මෙන් ම විද්‍යා ප්‍රකාශනත් හුවා දැක්වූයේ ඩයිනොසෝරයන් හා නූතන කුරුල්ලන් අතර ‘හමු නො වූ සබැඳිය’ (missing link) ඌ වන්නට ඇති බවයි. ‘Archaeoraptor’ ලෙස නමක් ද ලැබ තිබූ ඒ ෆොසිලය සැබැවින් ම වර්ග කිහිපයක ඩයිනෝසෝර ඇටකටුවල එකතුවක් බව පසු ව අනාවරණය වුණා.
වාණිජ්‍යමය ෆොසිල දඩයක්කරුවන්ගේ පැත්තෙන් නැඟෙන තර්කයේත් ගත යුත්තක් තිබෙන බව පෙනෙනවා. බොහෝ ෆොසිල සොයාගත හැකි පරිදි පොළොවෙන් මතු වන්නට ගන්නේ පසෙහි සිදු වන ඛාදනය හේතුවෙනුයි. මේ ඛාදනය ම ටිකෙන් ටික මුළු ෆොසිලය ම විනාශය කරා ගෙන යනවා. එනමුත් ක්ෂේත්‍රය තුළ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයක් සහිත කැණීම් කරන්නන් සිටින්නේ ඉතා මඳ වශයෙන්. එනිසා විද්‍යා ප්‍රජාව අතට ෆොසිල හමුවනවාට වඩා ඉක්මනින් වාණිජ්‍යමය කණින්නන් ෆොසිල පාදාගන්නවා. පාෂාණධාතුවේදීන් ගෙන් ගිලිහී පසට ඛාදනය වන්නට යන ෆොසිල පවා ගොඩ ගෙන බේරාගැනීමෙන් තමන් අතින් සිදු වන්නේ සේවයක් බවයි ඔවුන් විශ්වාස කරන්නේ.
මේ වසරේ සිදු වූ Gorgosaurus වෙන්දේසියත් සමගින් බොහෝ දෙනාගේ විචක්ෂණශීලී ඇස් මේ අවනඩුව වෙත යොමු වූ බව පෙනෙන්නට තිබුණා. CNN වෙත අදහස් දක්වමින් ඉන්දියානා බ්ලූමිංග්ටන් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ඩේවිඩ් පොලී පවසා තිබුණේ තමාගේ මතය නම් මේ ක්‍රියාවලිය තුළ ඇත්තේ අනිටු ප්‍රතිඵල ම පමණක් බවයි. ඩේලි මේල් වෙත ප්‍රකාශයක් ලබා දී තිබූ ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයයේ පාෂාණධාතු විද්‍යාඥ ස්ටීව් බෘසෙට් (Steve Brusatte) පවසන්නේ ධනවතුන් ප්‍රාග්ඓතිහාසික නිදර්ශක සෙල්ලම්බඩු ගාණට ඇද දමමින් සිටින බවයි. “ඩයිනොසෝරයන් සිතුවමකට, පැරණි මෝටර් රථයකට හෝ විස්කි බෝතලයකට වඩා බොහෝ ම සුළු වශයෙන් වෙනස්, ධන කුවේරයන්ට පමණක් මිලට ගත හැකි සුඛෝපභෝගී වෙළෙඳ භාණ්ඩ බවට පත් වෙමින් සිටිනවා. ඔවුන් ධනවතුන්ට සෙල්ලම් බඩු විතරයි. පටු මානසිකත්වයක් සහිත අයෙක් ඩයිනෝසෝර ඇටසැකිල්ලක් අරගෙන තමන්ගෙ මන්දිරයේ සාලය මැද තියාගත්තා කියන්නේ මුළු මහත් විද්‍යාවට ම එය සදහට ම අහිමි වුණා කියන එකයි.” ඔහු පවසා තිබුණේ ආවේගයෙන්.
සත්‍ය හෙට්ටිආරච්චි
3 comments
👍👍
tadalafil 5mg india
ධනවතුන්ගේ සෙල්ලම් බඩු | Vidusara Science Magazine
good customer service essay
ධනවතුන්ගේ සෙල්ලම් බඩු | Vidusara Science Magazine