වෙළඳසැලෙන් මිල දී ගත් ජල බෝතලයකින් ජලය පානය කරද්දී ඉන් ස්වාභාවික රසයට වඩා වෙනස් රසයක් දැනුණු අවස්ථාවන්ට ඔබ සාමාන්‍ය ජීවිතයේ දී මුහුණ දී තිබෙන්නට පුළුවන්. බොහෝ විට මෙවැන්නක් සිදුවන්නේ ජල බෝතලය කල් ඉකුත් වී ඇති අවස්ථාවලදී යි. එහෙත් ජලයට කොහින්ද කල් ඉකුත්වීමේ දිනයක්?
ඔව්, අනෙකුත් බොහොමයක් ආහාරවලට මෙන්ම බෝතල් කළ ජලයටත් කල් ඉකුත් වීමේ දිනයක් තිබිය හැකියි. මේ කල් ඉකුත් වීමේ දිනය බෝතලයේ සිට ජලයට කාන්දු වන රසායනික ද්‍රව්‍ය පිළිබඳ පැහැදිලි අනතුරු ඇඟවීමක් කරනවා. කෙසේ නමුත් මේ හරහා ඔබ පානය කරන ජලයේ ඇති විෂ සහිත ක්ෂුද්‍ර ප්ලාස්ටික් මට්ටම ගැන ඔබට දැනගන්නට ලැබෙන්නේ නැහැ.
පානීය ජල බෝතලයක නිශ්චිත ආයු කාලය බොහෝ විට අදාළ වෙළඳ නාමය මත රඳා පවතින්නක්. ඇතැම් පානීය ජල බෝතල් වසර දෙකක පමණ කාලයක් ගබඩා කර තබාගත හැකි වුවත් මාස තුනක් පමණක් තබාගත හැකි පානීය ජල බෝතල්ද පවතිනවා. මේ අතර ඇතැම් රටවල්වල කල් ඉකුත් වූ ජල බෝතල් විකිණීම සම්පූර්ණයෙන් ම නීත්‍යානුකූලයි. නිසි ලෙස ගබඩා කරන්නේ නම් බෝතල් කළ ජලය දින නියමයක් නොමැති ව විකිණිය හැකි බවයි ඔවුන්ගේ ස්ථාවරය.
කෙසේ වෙතත් නුසුදුසු ලෙස ගබඩා කිරීම නිසා පානීය ජලයේ වෙනස් රසයක් ඇති විය හැකි අතර කාලයත් සමඟ ඒවා දූෂිත හෝ විෂ සහිත වන්නටත් පුළුවන්. එවැනි ජලය පානය කිරීමෙන් පහසුවෙන් ඔබ අසනීප විය හැකි නිසා සනීපාරක්ෂිත සහ දූෂිත බෝතල් කළ පානීය ජලයේ වෙනස දැනගැනීම වඩාත් වැදගත්.
ඇත්තෙන් ම බෝතල් කළ පානීය ජලය කල් ඉකුත් වීමත් සමඟ බොහෝ විට සිදුවන්නේ බෝතලයේ ඇති අන්වීක්ෂීය රසායනික ද්‍රව්‍ය බෝතලයේ ඇති ජලයට මුසුවීමයි. ඒ සංයෝගවල ක්‍රියාකාරීත්වය නිසා ඔබට පානය කරන ජලය ඇතැම් ඖෂධ හෝ ක්ලෝරීන් වැනි රසයක් ඇති කරන බව දැනෙන්නට පුළුවන්. ඕනෑ ම බෝතලයකින් මෙවැනි රසායන ද්‍රව්‍ය නිකුත් වෙන්නට පුළුවන්. නමුත් එසේ නිකුත් වන රසායන ද්‍රව්‍ය අතරින් සමහරක් ඔබේ ආමාශයට හා බඩවැල්වලට පවා හානි පැමිණවිය හැකි ඇන්ටිමනි හෝ ඔබේ අන්තරාසර්ග පද්ධතියට බාධා කළ හැකි තැලේට් වැනි එස්ටර තරම් විෂ සහිත ඒවා විය හැකියි. මෙහි දී අපි සිහියේ තබාගත යුතු තවත් කරුණක් තිබෙනවා. ඒ වීදුරු බෝතල් ප්ලාස්ටික් බෝතල්වලට සාපේක්ෂ ව අඩු ඇන්ටිමනි හා තැලේට් එස්ටර ප්‍රමාණයක් නිකුත් කරන බවයි.
නමුත් බොහොමයක් ජල බෝතල් සෑදී ඇත්තේ පොලිඑතිලින් ටෙරෙෆ්තලේට් හෙවත් PET ප්ලාස්ටික්වලින් වන අතර සාමාන්‍ය ප්ලාස්ටික් අතරින් වැඩි ම ඇන්ටිමනි ප්‍රමාණයක් නිකුත් කරන්නේ මේ ප්ලාස්ටික් වර්ගයයි. කෙසේ වෙතත් PET බෝතල් පවා ඇතුළත ඇති ජලය විෂ සහිත වන ප්‍රමාණයකින් සංයෝග මුදා නොහැරිය යුතුයි. කාලයත් සමඟ බෝතලයත් ඒ තුළ ඇති ජලයත් රසායනික සමතුලිතතාවයකට ළඟා වීම නිසා ඕනෑ ම මොහොතක දී ඔබ පානය කරන බෝතල් කළ පානීය ජලයේ අදාළ බෝතලයේ අඩංගු රසායනික සංයෝගවලින් අංශුමාත්‍ර ප්‍රමාණයක් අඩංගු විය හැකියි.
මීට අමතර ව ඔබ පානීය ජල බෝතල් ගබඩා කරන ස්ථානය ද ජලයේ රසයට බලපෑම් එල්ල කළ හැකියි. සම්මතයන්ට අනුව ප්ලාස්ටික් බහාලුම් තරමක් පාරගම්‍ය වන අතර ඒ නිසා වාතය අණු බෝතලය තුළටත් ඉන් පිටතටත් ගමන් කළ හැකියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ නිවසේ තීන්ත බාල්දියක් හෝ පිරිසිදුකාරකයක් අසළ පානීය ජල බෝතල් ගබඩා කළහොත් ඒ ද්‍රාවකවල ඇති වාෂ්ප අණු ජල බෝතලය තුළය රිංගා එහි ජලයේ ඇති රසය වෙනස් කරන්නට පුළුවන්.
මෙතෙක් කරන ලද අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ කල් ඉකුත් වූ පානීය ජලයේ ඇති රසායනික ප්‍රමාණය පවා සම්මත කොට ඇති රසායනික සීමාවන්ට වඩා අවම වන බවයි. අඩු තරමින් බෝතල් සිසිල් අඳුරු ස්ථානයක ගබඩා කරන තාක් එය එසේමයි. සාමාන්‍යයෙන් උණුසුම් ජලයට කාමර උෂ්ණත්වයේ ඇති ජලයට සාපේක්ෂ ව විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් දියකර ගන්නවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ෆැරන්හයිට් අංශක 86 ඉක්මවා රත් කරන ලද බෝතල් මඟින් අධික ලෙස තැලේට් එස්ටරත් 140 ඉක්මවා රත් කරන ලද PET බෝතල් මඟින් අධික ලෙස ඇන්ටිමනිත් නිකුත් කෙරෙන බවයි. එබැවින් ශීතකරණයේ ඇති කල් ඉකුත් වූ වතුර බෝතලයක් පානය කිරීම ඔබේ රත් වූ මෝටර් රථයේ හෝ අව්ව වැටෙන ස්ථානයක ඇති කල් ඉකුත් වූ වතුර බෝතලයක් පානය කිරීමට සාපේක්ෂ ව ආරක්ෂිතයි.
මේ අතර අතිශයින් ම විරල අවස්ථාවන්හි දී කල් ඉකුත් වූ ජලයේ ඇති වෙනස් රසයට ක්ෂුද්‍ර ජීවීන්ගෙන්ද බලපෑම් එල්ලවන්නට පුළුවන්. පානීය ජල බෝතල් සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය කොතරම් ආරක්ෂිත ව පවත්වාගෙන ගියත් හදිසි අතපසු වීම් සිදුවන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවක දී ඔබ විවෘත කළ වහා ම ජල බෝතලය පානය කරන්නේ නම් ක්ෂුද්‍රජීවීන්ට වර්ධනය වීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇති. නමුත් ඔබ එවැනි බෝතලයක් සූර්යයාලෝකය යටතේ දිගු කාලයක් තැබුවහොත් ඒවාට ගුණනය වීමට උණුසුම් හා ස්ථාවර පරිසරයක් නිර්මාණය වෙනවා.
තත්ත්වය මෙසේ නම් කල් ඉකුත් ව ඇති බව හඳුනාගත් පසු අපි ජල බෝතලයකට කළ යුත්තේ කුමක්ද? එහි ඇති ජලය ශාකයකට දැමීමට හෝ සුරතල් සතෙකුට දිය හැකි බව ඔබට සිතෙනවා ඇති. නමුත් අපේ සෞඛ්‍ය අවදානමට ලක් කරන යමක් ඔවුන්ට ලබාදීමට පෙර අප දෙවරක් සිතිය යුතුයි.
කල් ඉකුත් වූ ජලය සක්‍රීය අඟුරු පෙරහනක් හරහා ගමන් කරවීමෙන් එහි ඇති බොහෝ අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කළ හැකියි. එමෙන් ම ඔබ පානය කරන ජලයේ ක්ෂුද්‍රජීවීන් සිටිනවා යැයි ඔබට සැකයක් ඇත්නම් ඒ ජලය විනාඩියක් තද උණුසුමක් යටතේ තම්බා ගැනීමෙන් එවැනි රෝගකාරක සියල්ල ම පාහේ විනාශ වී යනවා. නැවත නැවත පුරවමින් බෝතලය පරිහරණය කිරීම වැඩි වැඩියෙන් ක්ෂුද්‍රජීවී ආසාදනයන්ට අත වැනීමක් වන නිසා වඩාත් ම සුදුසු වන්නේ වරක් භාවිතයෙන් පසු ඔබේ ජල බෝතලය ප්‍රතිචක්‍රීකරණ බඳුනට විසි කිරීමයි.
Science Alert ඇසුරෙනි
තරුෂී කෞෂාණි