Home Features හතරවෙනි බදාදා

හතරවෙනි බදාදා

by Sathya

හරි ළමයි එහෙනං අපි අදත් පාඩම පටන් ගමු නේද ? අද අපි මොනව ද ඉගෙනගන්න යන්නෙ ?
බබෙක් අම්මගෙ ගර්භාශය ඇතුලේ සති හතලිහක් හිමින් හිමින් ලොකු වෙන හැටි.
ආ.. කට්ටියට මතකයි නේද ?
ඔව් ටීචර්
ඔන්න බබාට සති පහක් විතර වෙනකොට බබාගෙ ප්‍රමාණය මිලිමීටර් දෙකහමාරක් විතර. ඒ කියන්නෙ කූඹියෙක් විතර. මතකද මම එදා කිවුවා බබා ඉන්නේ වතුර පිරුනු මල්ලක් වගේ එකක් ඇතුලෙ ලියලා. අන්න ඒ මල්ලත් මේ වෙනකොට හැදෙන්න පටන් අරගෙන. ඒ විතරක් නෙවෙයි බබාගෙ හදවතත් ටික ටික හැදෙන්න පටන් අරගෙන. ඒ වගේම අපි ගිය සතියේ කතා කරපු වැදෑමහ වගේම බබාව අම්මට සම්බන්ධ කරන පෙකණි වැලත් හැදෙන්න පටන් අරන්. මොකද මුලින් ම පෙකණි වැල හැදෙන්න ඕනෙ බබාට අම්මගේ ඉඳලා උවමනා කරන දේවල් ගෙනියන්න. මතකයි නේද ?
ඔව් ටීචර්.
ඒ වගේම බබාගේ ස්නායු පද්ධතියත් හැදෙන්න පටන් අරන් තියෙන්නේ.
තව පොඩි දෙයක් කියලා දෙන්නද ?
ඒ මොකද්ද ටීචර් ?
බබා ගේ මොලය වගේම ස්නායු පද්ධතිය හැදෙන්න ගොඩක් වැදගත් විටමිනයක් තමයි ෆෝලික් අම්ලය කියන්නේ. බැරි වෙලාවත් අම්මා ඇතිවෙන්න ෆෝලික් අම්ලය ගත්තේ නැත්නම් බබාගේ ස්නායු පද්ධතිය හරියට හැදෙන්නේ නැති වෙන්න පුලු‍වන්. අන්න ඒ නිසයි බබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට ක්ලිනික් වලින් ෆෝලික් අම්ලය පෙති දෙන්නේ.
හරි හරි.. ඒක අමතර කතාවක්.. අපි ආයෙත් බලමු බබාට මොකද වෙන්නේ ඊට පස්සෙ කියලා
ඔන්න සති අටක් වෙනකොට බබා මිලිමීටර් අටක් විතර දිගයි. නෙල්ලි ඇටයක් විතර ඇති. ඒ වෙනකොට එයාගෙ හදවත ටිකක් හැදිලා බබාගෙ ඇඟ පුරා ලේ බෙදන්න ලෑස්ති වෙනවා. බබාගෙ ඔලු‍ව ටිකක් පැහැදීලිව පේනවා විතරක් නෙවෙයි. ඔලු‍ව ඇතුලේ මොලේ හැදෙන්නත් පටන්ගෙන. ඒ වගේම එයාගේ අත් කකුල් හැදෙන්නත් පටන් අරගෙන.
ඔන්න දැන් බබාට සති දොලහක් වෙනවා. ඔන්න දැන් බබා සෙන්ටිමීටර හයක් විතර දිගයි. එයාගෙ ඔලු‍ව පැහැදිලිව රවුමට පේනවා විතරක් නෙවෙයි කන් දෙකත් සෑහෙන දුරට හැදිලා ඉවරයි.
ආ ඒ විතරක් නෙවෙයි.. දැන් එයාට කට අරින්න , ගිලින්න , ඈනුම් අරින්න උනත් පුලු‍වන්. එයාගෙ හදවත හොඳින් ගැහෙනවා.
ඔයාලට මතකයි නෙ පෙකණි වැල. සති දොලහක් වෙනකොට පෙකණි වැල හොඳටම හැදිලා ඒක දිගේ අම්මගේ ඉඳන් බබාට ඕන කරන දේවල් අරගෙන එනවා.
ඔන්න මේ වෙනකොට අම්මගේ ගර්භාශය ටික ටික ලොකු වෙලා බඩ ටික ටික ලොකු වෙන්න පටන් ගන්නවා.
මෙන්න මේ කාලෙදි අපි අම්මගෙ බඩ ස්කෑන් කරොත් අපිට පුලු‍වනි බබාගෙ වයස හරියටම දැනගන්න.
ඔන්න බබාට සති දහ අටක් විතර වෙනකොට එයා හොඳට දඟලනවා. එයා දඟලනවා පයින් ගහනවා අම්මටත් දැනෙන්න පටන් ගන්නවා. මේ වෙනකොට එයා සෙන්ටිමීටර් පහලවක් විතර දිගයි. ග්‍රෑම් එකසිය හැටක් විතර බරයි. මෙන්න මේ වෙනකොට අම්මගෙ බඩත් සෑහෙන්න ලොකු වෙලා අපිට පිටින් බලලා කියන්න පුලු‍වන් මේ කෙනාට නම් බබෙක් ලැබෙන්න තමයි ඉන්නෙ කියලා.
මට පේන්නෙ අපිට තව එක දවසක් ඕනෙ වෙනවා බබා ගර්භාශය ඇතුලේ ලොකු වෙන හැටි ගැන ඉගෙනගන්න. ඔයාලාට පුලු‍වන් පොත් වලින්, ඉන්ටර්නෙට් එකෙන් බබාල බඩ ඇතුලේ ඉන්න හැටි තියෙන පින්තූර හොයලා බලන්න. වටිනා දෙයක් දැක්කොත් අපි හැමෝටම බලන්න අරගෙන එන්න.
එහෙනම් අපි අදට නවත්තමු.. හැමෝම ඊලඟ බදාදාට එන්න.
හරි ටීචර්.

වෛද්‍ය නුවන් තොටවත්ත

MBBS, MSc (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications