ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලී ජනී ජනයාගේ ඇස් මේ සමය පුරාවට යොමුව පවතින්නේ අරාබිකරයේ කටාර් රාජ්‍යය වෙතටයි. ඒ සිව්වසරකට වරක් පැවැත්වෙන FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උණුසුම මෙවර හමන්නේ එදෙසින් වීම නිසයි. කටාර් රාජ්‍යය මෙවර පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක රට වශයෙන් තෝරාගනු ලැබුණේ 2010 වසරේ දීයි. එදා සිට මේ දක්වා ගත වූ දශකයකටත් අධික කාලය තුළ FIFA වෙනුවෙන් හැඩගැහෙන්නට නො මසුරු ව සිය කහවණු මලු ලෙහා දැමූ කටාර් රාජ්‍යය ඒ වෙනුවෙන් ම වෙන් වූ යෝධ සංවර්ධන ව්‍යාපෘති පවා ඇති කළා.
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලි අතර තුර දිස්වන නවීන තාක්ෂණික යෙදවුම් ගැන බොහෝ දෙනා කතා කරන්නේ විස්මයට පත් වූ හැඟීමකින් යුතුවයි. ඊට එක් උදාහරණයක් වශයෙන් අර්ධ ස්වයංක්‍රීය ඕෆ්සයිඩ් තාක්ෂණය (Semi-automated Offside Technology) හඳුන්වා දිය හැකියි.
ඕෆ්සයිඩ් වීම යනු පාපන්දු ක්‍රීඩාවේ දී සිදු නො විය යුත්තක්. ගෝලය රකින පැත්තට එන ප්‍රහාරක පිළේ ක්‍රීඩකයන් අතින් ඕෆ්සයිඩ් වීමක් සිදු වුවහොත් ගෝලය රැස් කිරීමේ අවස්ථාව ඔවුන් අතින් ගිලිහී යනවා. එය තරග නීතියක්. නමුත් විශේෂත්වය වන්නේ ඕෆ්සයිඩ් වීමකට අදාල නිෂ්චිත සීමාවක් නොමැති වීමියි. එය ප්‍රහාරක පිළේ ක්‍රීඩකයන්ගේ ස්ථානගත වීම අනුව රඳාපවතිනවා. එනිසා පිටිය මත ඕෆ්සයිඩ් රේඛාවක් සලකුණු කර නැහැ. එනිසා ඕෆ්සයිඩ් වීමක් සිදුවේ දැයි තරග විනිසුරන් දැඩි අවධානයෙන් බලා සිටිය යුතුයි. නමුත් පාපන්දු යනු උද්වේගකර, වේගවත් ක්‍රීඩාවක් වීම හේතුවෙන් එය පහසු කර්තව්‍යයක් නොවෙයි. අර්ධ ස්වයංක්‍රීය ඕෆ්සයිඩ් තාක්ෂණය විනිසුරන්ගේ උදව්වට එන්නේ මෙතැන දී යි.
2018 වසරේ රුසියාවේ පැවැති FIFA ලෝක කුසලාන තරඟාවලියේ දී විනිසුරන්ගේ පහසුව සඳහා යොදාගත් VAR තාක්ෂණය අලුත් වැඩියාකොට කෘත්‍රිම බුද්ධිය ද උපයෝගී කරගනිමින් 100% නිරවද්‍ය තීරණයක් ලබාදිය හැකි මේ තාක්ෂණය සංවර්ධනය වූයේ FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝගේ සංකල්පය මතයි.
ක්‍රීඩාංගනයේ වහලය යටින් සවි කළ පථ සෙවුම් කැමරා (tracking cameras) 12කින් යුතු පද්ධතියක සහාය මේ සඳහා යොදා ගැනෙනවා. ඉන් ක්‍රීඩකයන්ගේ පිහිටුම නිවැරදිව මැනගනු ලැබෙනවා. අඩිඩාස් සමාගමේ නිපැයුමක් වන මෙවර තරගාවලි සඳහා යොදා ගන්නා අල් රෙහ්ලා නම් පන්දුව තුළ තැන්පත් කර ඇති සංවේදකයක් මගින් එහි සජීව පිහිටුම පිළිබඳ දත්ත වීඩියෝ මෙහෙයුම් කුටිය වෙත සම්ප්‍රේෂණය කෙරෙනවා. ඒ තත්ත්පරයකට පන්සිය වතාවක් පිහිටුම් දත්ත අලුත් කරවන වේගයකින්. මෙසේ ලබාගන්නා දත්ත කෘත්‍රිම බුද්ධි වැඩසටහනක සහායෙන් පරිගණක සමාකෘතියක් බවට සජීව ව ම හැරවෙනවා. තවත් සරල ව පැවසුවොත් පරිගණකය තුළත් පිටියේ සිදුවන සජීව තරගාවලිය ප්‍රති නිර්මාණය වනවා. යම් ක්‍රීඩකයෙකු ඕෆ්සයිඩ් වීමකට ලක් වුවහොත් ඒ බව හඳුනාගෙන ක්ෂණිකව ම පරීක්ෂකවරුන්ට දන්වන්නට මේ වැඩසටහන සමත්. අපැහැදිලි තැන් වඩාත් පහසුවෙන් ළං කර බලන්නටත් වෙනත් කෝණයකින් බලා තීරණය තහවුරු කරගන්නටත් මෙයින් තරග විනිසුරන්ට මෙන් ම ප්‍රේක්ෂකයන්ට ද අවස්ථාව ලැබෙන්නේ ක්‍රීඩාංගණය තුළ ඇති සුවිසල් තිරවලට ද එය සමමුහුර්ත කර ඇති බැවින්.
ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ පාපන්දු ක්‍රීඩාවයි. බිලියන තුන හමාරකට අධික ප්‍රේක්ෂක පිරිසක් ඒ වටා රොක් වී සිටිනවා. එනිසා ලොව වැඩිම ජනප්‍රියත්වයක් උසුලන ක්‍රීඩා ඉසව්ව ලෙස FIFA ලෝක කුසලානය පත්වන්නේ නිතරගයෙන් ම යි. එවන් සුවිසල් ව්‍යායාමයකින් ක්‍රීඩා ක්ෂේත්‍රයට මතු නොව තාක්ෂණයේ උදාව වෙනුවෙන් ද කෙරෙන සාධනීය බලපෑම අමිලයි.
සත්‍ය හෙට්ටිආරච්චි