Home FeaturesHealth දහවෙනි බදාදා

දහවෙනි බදාදා

by Sathya

ළමයි එන්න ඉඳගන්න. අපි පාඩම පටන්ගන්න යන්නේ.
ඔයාලට මතකද අපි එදා නවත්තපු තැන.
ඔව් ටීචර්, බබෙක් හැදෙන්න නම් ශුක්‍රාණුවක් යෝනි මාර්ගය ඇතුලෙන් ගිහින් ඩිම්බය එක්ක එකතුවෙන්න ඕනෙ කියලා තමයි අන්තිමට කිවුවේ.
හරි…දැන් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා.
ඔන්න කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් වෙන වෙන විදිහට බබාලා හම්බවෙන්න පුලු‍වන් කියලා අදින් පස්සෙ ඒ දේවල් අමතක කරලා දාන්න ඕනෙ. අතින් ඇල්ලු‍වාට මූන ඉම්බට එක ගෙදර හිටියට බබාල හම්බ වෙන්නෙ නෑ.
ඔන්න කවුරු හරි ගෑනු කෙනෙකුටයි පිරිමි කෙනෙකුටයී හිතුනොත් ඒ දෙන්නාට බබෙක් හදාන්න ඕනෙ කියලා, ඒ කියන්නේ අපි හිතමු ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි විවාහ වෙලා ටික දවසක් යනකොට එයාලට හිතෙනවා තමන්ට දරුවෙක් ඕනෙ කියලා.
අන්න එතකොට එයාලට කරන්න තියෙන්නේ පිරිමි කෙනාගේ ඇඟේ, හරියටම කිවුවොත් වෘශණ කෝශවල තියෙන ශුක්‍රාණු ගැහැණු කෙනාගෙ යෝනි මාර්ගයට දාන එක. අන්න එහෙම කරන්න එයාලා කරන දෙයට අපි කියන්නේ ”‍සංසර්ගය”‍ කියලා. එකටම අපි ”‍ලිංගිකව එකතු වෙනවා”‍ කියලත් කියනවා. එහෙම කියන්නේ ඇයි කියලා මම පස්සෙ කියන්නං.
ඔයාලට මතක නම් පුරුෂ ප්‍රජනක පද්ධතියේ තියෙනවා පුරුෂ ලිංගය කියලා එකක්. ඔය පිරිමි ලමයි චූවා කියන්නේ. අපි කිවුවනේ පිරිමි කෙනෙක් ගේ ශුක්‍රාණු ගබඩා කරලා තියෙන්නේ වෘශණ කෝශ වල කියලා. ඔන්න ඔය වෘශණ කෝෂයේ ඉඳලා නාලයක් තියෙනවා පුරුශ ලිංගයේ කෙලවරට. ඉතින් වෘශණ කෝශ ඇතුලේ තියෙන ශුක්‍රාණු වලට පුලු‍වන් ඔන්න ඔය නාලය දිගේ ඇවිත් පුරුෂ ලිංගය කෙලවරෙන් එලියට එන්න.
ඉතිං ගැහැණියෙකුයි පිරිමියෙකුයි සංසර්ගයේ යෙදෙනවා කියලා කරන්නේ පිරිමියාගේ පුරුෂ ලිංගය ගැහැණු කෙනාගේ යෝනි මාර්ගය ඇතුලට දාලා වෘශණ කෝශ වල තියෙන ශුක්‍රාණු අර නාලය දිගේ පුරුෂ ලිංගයේ කෙලවරින් යෝනි මාර්ගය ඇතුලට පිට කරන එක. අන්න ඒ විදිහට පිරිමියාගේ ලිංගික අවයවයි ගැහැණු කෙනාගේ ලිංගික අවයවයි එකතු කරගෙන කරන දෙයක් නිසා තමයි අපි සංසර්ගයට“ලිංගිකව එකතු වෙනවා”‍ කියලත් කියන්නේ.
අන්න එතකොට ශුක්‍රාණු වලට පුලු‍වන් යෝනි මාර්ගය දිගේ උඩට ගිහින් ගර්භාශයට ඇතුල් වෙලා ඩිම්බයත් එක්ක එකතු වෙලා බබෙක් හදන්න.
කාට හරි සංසර්ගයේ යෙදෙන්න උවමනාවක් නැති වෙලාවට පුරුෂ ලිංගය අප්‍රාණික වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ පණ නැති වෙලා. හරියට හුලං ගිය බයිසිකල් ටියුබ් එකක් වගේ. හැබැයි දිගටම එහෙම තිබ්බොත් පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුල් කරන්න බෑ. යෝනි මාර්ගයට ඇතුල් කරන්න නම් පුරුෂ ලිංගය හොඳට හයියට බටයක් වගේ තියෙන්න ඕන. අන්න ඒ නිසා සංසර්ගයේ යෙදෙන්න ලෑස්ති වෙනකොට, ඒ කියන්නේ පිරිමි කෙනෙක් දැනගත්තම එයා දැන් කවුරුහරි ගෑණු කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්නයි යන්නේ කියලා ඉබේම එයාගේ පුරුෂ ලිංගය ඇතුලට ලේ ඇවිත් පිරෙනවා. අන්න එහෙම පිරෙන්න පිරෙන්න පුරුෂ ලිංගය හයිය බටයක් වගේ වෙනවා. හරියට බයිසිකල් ටියුබ් එකකට හුලං පිරෙවුවා වගේ.
අන්න එහෙම ලේ පිරිලා හයිය උනාට පස්සෙ පිරිමි කෙනාට පුලු‍වන් තමන් ගෙ පුරුෂ ලිංගය ගෑණු කෙනාගෙ යෝනි මාර්ගය ඇතුලට දාන්න. අන්න ඒ වෙලාවට ම යෝනි මාර්ගය ඇතුලෙන් තෙල් වගේ දෙයක් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ඒ තෙල් වගේ ශ්‍රාවය නිසා පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුල් කරන්න පහසු වෙනවා.
ඊට පස්සෙ පුරුෂ ලිංගය යෝනි මාර්ගය ඇතුලේ තියෙද්දිම පිරිමි කෙනා ගේ ශුක්‍රාණු පුරුෂ ලිංගයෙ කෙලවරින් යෝනි මාර්ගය ඇතුලට ගමන් කරනවා. ඇත්තම කිවුවොතින් හරිම වේගයෙන් ඇතුලට විදිනවා.
ඊට පස්සෙ ශුක්‍රාණු යෝනි මාර්ගය දිගේ පීනලා යනවා ගර්භාශය ඇතුලට.
ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා, ඒ කියන්නේ ශුක්‍රාණු පීනලා ගිහින් ඩිම්බය එක්ක එකතුවෙලා පුංචි සෛල ගුලියක් හැදිලා ඒක ගර්භාශයේ තැන්පත් වෙලා බබෙක් හැදිලා එයා ටික ටික ලොකු වෙලා මේ ලෝකෙට එන හැටි දැන් ඔයාලා දන්නවා.
හැබැයි අපේ පාඩම මෙතනින් ඉවර නෑ. අපි ලබන සතියේ ඉඳලා තවත් වැදගත් දේවල් ගොඩක් කතා කරන්නයි යන්නෙ.

වෛද්‍ය නුවන් තොටවත්ත MBBS, MSc (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications