එන්න එන්න ළමයි ඉක්මනට එන්න.
හරි. අද පාඩමට අපිට ඕනෙ කැමැත්තෙන් ඉදිරිපත් වෙන ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි. කවුද කැමති ඉස්සරහට එන්න.
ටික වෙලාවක් කවුරුවත් ම සද්ද නෑ.
මම ඉදිරිපත් වෙනවා ටීචර්. තාරුකා ඉස්සරහට ආවා. හරිම හොඳයි.
මමත් එනවා. ඒ නිලුපුල්.
බොහොම හොඳයි. අපිට පුලුවන් වෙන්න ඕන අපි ගැන විස්වාසයක් හදාගෙන හොඳ දේවල් වලට ඉදිරිපත් වෙන්න.
හරි දැන් ඔය දෙන්නා පන්තිය ඉස්සරහින් හිටගන්න. පන්තිය දිහා බලාගෙන.
දැන් අනික් ළමයි කියන්න බලන්න මොනවද තාරුකා ගෙයි නිලුපුල් ගෙයි ඔයාලට පේන වෙනස් කම්.
තාරුකා ගෙ කොණ්ඩෙ දිගයි. නිලුපුල් කොන්ඩෙ කොටට කපලා. එක ළමයෙක් කිවුවා.
නිලුපුල් කමිසයකුයි කලිසමකුයි ඇඳලා ඉන්නෙ. තාරුකා ගවුමක්. එහෙම කිවුවෙ තව ළමයෙක්.
හරි හරි. ඒ දෙකම හරි, හැබැයි ඒ දේවල් එයාලා කැමති විදිහට හදාගත්ත දේවල්. ඒ කියන්නේ නිලුපුල් කැමැති නම් එයාට කොණ්ඩේ දිගට වවන්න පුලුවන් වගේම තාරුකා කැමති නම් එයාට කලිසමකුයි කමිසෙකුයි අඳින්න පුලුවන්.
එහෙම නෙවෙයි. එයාලගේ ඇඟේ ඔයාලට පේන වෙනස් කම් මොනවාද ?
කවුරුවත් සද්දයක් නෑ.
ඇයි කාටවත් මොකුත් වෙනසක් පේන්නේ නැද්ද ?
ටීචර් නිලුපුල් ගේ වගේ නෙවෙයි තාරුකාගේ පපුව ඉස්සරහට ඇවිල්ලා. තරිඳු කියපු කතාවට හැමෝටම හිනා. තාරුකා බිම බලාගත්තා.
හිනාවෙන්න දෙයක් නෑ. ඒ කතාව ඇත්ත. තව වෙන මොනවද ?
තාරුකා ගෙ උකුල හරිය පළල්. නිලුපුල් ට වඩා.
ඔව්, ඒකත් ඇත්ත.
හරි දැන් බලන්න අර දෙක වසරේ පන්තියේ ඉන්න නංගිලා මල්ලිලා දිහා. ටීචර් එහා ගොඩනැගිල්ලේ තිබුනු දෙක වසර පන්තියට ඇඟිල්ල දික් කරලා පෙන්නුවා.
එයාලා ගෙත් ඇඟවල් ඔය වගේ වෙනස් ද ?
නෑ ටීචර්. ඇඳුමයි කොන්ඩෙයි ඇරෙන්න හැමෝම එක වගේ. දෙක වසරේ පිරිමි ළමයෙක්ට ගවුමක් ඇන්දුවොත් එයා ව අඳුනන්නෙ නැති කෙනෙක් හිතන්නේ ගෑණු ළමයෙක් කියලා.
දැන් ඔයාලට තේරෙනවද ගෑණු ලමයි, පිරිමි ළමයි පොඩි කාලෙ එක වගේ ඉඳලා ටික ටික ලොකු වෙනකොට එයාලාගේ ඇඟවල් වෙනස් වෙනවා කියලා.
අපි අද කතා කරන්නේ අන්න ඒ ගැන.
හරි දැන් නිලුපුලුයි තාරුකා යි ඉඳගන්න. ඔයාලා දෙන්නාට ගොඩක් ස්තුතියි.
අපි දැන් දන්නවා ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකතු වෙලා තමයි දරුවෙක් හදන්නේ. ඒ කියන්නේ අද මෙතන ඉන්න ඔයාලගෙන් ගොඩ දෙනෙක් අනාගතේ අම්මලා තාත්තලා වෙනවා.
ළමයෙක් ටික ටික වයසින් වැඩිලා වැඩිහිටියෙක් වෙනකොට ළමයාගේ ඇඟත් ටික ටික වෙනස් වෙලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න හැඩ ගැහෙනවා. ඒක කාලයක් තිස්සේ තමයි වෙන්නේ. ඒ වෙනස්කම් වලින් සමහර ඒවා අපිට පිටින් බලා ගන්න පුලුවන්. හරියට අපි අර කලින් කිවුව ගෑණු ලමයෙක් ගේ පපුව ඉස්සරහට එන එක, උකුල පලල් වෙන එක පිරිමි ළමයෙක් ගේ රැවුල වැවීම. ගැහැණු පිරිමි දෙගොල්ලගෙම කිහිල්ලේ, රහස් ප්‍රදේශවල රෝම වැවීම වගේ.
ඒ වගේමයි සමහර වෙනස්කම් අපිට පේන්නේ නෑ. ඒවා වෙන්නේ අපේ ඇඟ ඇතුලේ. ඉතින් මේවා ළමයෙක් ඉපදුනාට පස්සේ ලිංගික කටයුතු සම්බන්ධයෙන් දෙවනුව ඒ කියන්නේ ද්විතීකව වෙන වෙනස්වීම් නේ. ඒ නිසා අපි ඒවට ද්විතීක ලිංගික ලක්ෂණ කියලා කියනවා.
ඉතින් ඔයාලා හැමෝම තමන්ගේ ඇඟේ කාලයත් එක්ක ටික ටික වෙන මේ වෙනස්කම් මොනවාද කියලා හොඳට ම දැනගෙන ඉන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ගැහැණු ළමයි පිරිමි ළමයින්ගේ ද්විතීක ලිංගික වෙනස්වීම් ගැනත් පිරිමි ළමයි ගැහැනු ළමයින්ගේ ද්විතීක ලිංගික වෙනස්වීම් ගැනත් හොඳින් දැනගන්නත් ඕන.
ඒ වගේම මේ හැම වෙනස්කමක් ම හරිම සාමාන්‍ය දේවල් නිසා කවුරුවත් ඒවට බය වෙන්න ඕනෙ නෑ.
තව ගොඩක් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි හැමෝටම එකම වයසෙදි මේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවෙන්නේ නෑ. අපි හිතමු රැවුල වැවෙන එක කියලා. එක ළමයෙකුට අවුරුදු දොලහේදී රැවුල ඇවිත් තව ළමයෙකුට අවුරුදු දා හතරෙදි රැවුල වැවෙන්න පටන් ගන්න පුලුවන්. ඒක් හරිම සාමාන්‍ය දෙයක්.
ඉතින් අපි ඊලඟ දවසේ ඉඳලා මේ ද්විතීක ලිංගික ලක්ෂණ ගැන කතා කරන්නයි යන්නේ.
එහෙනං අදට ඇති.