හා අද කට්ටිය කලින් ම ඇවිත් තියෙන්නේ ?
ඔව් ටීචර්
ඒ මොකද එච්චර උනන්දුවක් ?
අපිට ඉක්මනට අර බඩේ හිටිය බබාට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනෙ උනා ටීචර්.
හරි. එහෙනම් අපි අද පාඩම පටන් ගමු.
ඔන්න දැන් ඔයාලා හොඳටම දන්නවා බබෙක් හැදෙන්නේ කොහේද කියලා. අන්න ඒ නිසා ආයෙ කාටවත් බබාලා කඩෙන් ගේනවා, ඉස්පිරිතාලෙන් ගේනවා, දේව දූතයෝ ගෙනත් දෙනවා වගේ දේවල් කියලා ඔයාලව රවට්ටන්න බෑ. මෙතන ඉන්න ඔයාලා හැමෝමත් අපි කලින් සති වල ඉගෙනගත්තා වගේ අම්මගේ බඩේ තියෙන ගර්භාශය ඇතුලේ ටික ටික ලොකු වෙලා තමයි මේ ලෝකෙට ආවෙ. අද අපි ඉගෙනගන්න යන්නේ අන්න එහෙම ටික ටික ලොකු වුන බබා මේ ලෝකෙට එන්නේ එහෙමත් නැත්නම් ඉපදෙන්නේ කොහොමද කියන එක.
ඔන්න සති තිස් හතක් යනකොට බබා එයාට තනියම මේ ලෝකේ ජීවත් වෙන්න පුලුවන් තරමට ලොකු වෙනවා.
මොකද එයා බඩ ඇතුලේ ඉන්න කල් එයාට ඕන කරන හැම දෙයක්ම අම්මගෙන් ලැබෙනවා. හැබැයි එයා එළියට ආපු වෙලාවෙ ඉඳන් එයා තනියම හුස්ම ගන්න ඕන. තනියම කිරි බොන්න ඕන. ඉතින් ඒ දේවල් තනියම කරගන්න පුලුවන් වෙනකල් එයා බඩ ඇතුලට වෙලා ඉන්නවා.
ඔන්න එයාට වයස සති තිස් හත පිරුණට පස්සෙ ඕන දවසක එයා එළියට එන්න පුලුවන්.
කොහොමද ටීචර් එයා එළියට එන්නේ ?
ඔන්න එහෙනම් අහගන්න.
මම කිව්වනේ ගර්භාශය කියන්නේ මල්ලක් වගේ එකක් කියලා. අන්න ඒ මල්ලේ ඉඳන් බටයක් වගේ එකක් ඇවිත් ඒක අපේ ඇඟේ එළියට විවෘත වෙලයි තියෙන්නේ.
අන්න ඒ බටයට අපි කියන්නේ යෝනි මාර්ගය කියලා. අපි ඒ ගැන වෙන දවසක ඉගෙන ගන්නවා. එතකල් අපි දැන ගන්න ඕන මෙන්න මේ යෝනි මාර්ගය ගැහැනු අයගේ ගර්භාශයෙන් පටන් ගෙන ඇවිත් එයාලාගේ රහස් ප්‍රදේශයට ඒ කියන්නේ චූ පැත්ත හරියට විවෘත වෙනවා.
ඉන්නකො මම තව ටිකක් පැහැදිලි කරන්න. අපේ ඇඟ ඇතුලේ තියෙන සමහර අවයව ඇඟේ එලියට විවෘත වෙලයි තියෙන්නේ. දැන් බලන්න අපේ ආහාර මාර්ගය, ඒකෙ ඉස්සරහ පැත්ත කටෙන් එළියට විවෘත වෙනවා. පිටිපස්ස පැත්ත ගුද මාර්ගය හැටියට විවෘත වෙනවා. එතනින් තමයි අපි කක්ක දාන්නේ.
අපේ පෙනහලු දෙක නාසයෙන් එළියට විවෘත වෙනවා අපිට හුස්ම ගන්න.
අපේ මූත්‍රා එකතුවෙන්නෙ මූත්‍රාශයට, ඒක මූත්‍රා මාර්ගයෙන් එළියට විවෘත වෙනවා.
අන්න ඒ වගේ ගර්භාශයත් යෝනි මාර්ගයෙන් එළියට විවෘත වෙනවා.
තේරුණාද ?
ඔව් ටීචර්.
ගෑනු කෙනෙක් ගේ රහස් ප්‍රදේශයේ, ඒ කියන්නේ එයාලගෙ චූ පැත්තේ විවර තුනක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රූපෙ වගේ.
මුලින් ම තියෙනවා මූත්‍රා මාර්ගය, ඒ කියන්නේ මූත්‍රාශයේ ඉඳලා මූත්‍රා මාර්ගය දිගේ මූත්‍රා එන තැන. එතනින් තමයි අපි මූත්‍රා පිට කරන්නේ. ඒ කියන්නේ චූ කරන්නේ.
පහලින් ම තියෙන්නේ ගුද මාර්ගය. ඒ කියන්නේ අපේ ආහාර මාර්ගයේ යට කෙළවර. කක්කා දාන තැන.
අන්න ඒ දෙක මැදට තමයි යෝනි මාර්ගය විවෘත වෙන්නේ.
අපි හැමෝම මූත්‍රා මර්ගයයි ගුද මාර්ගයයි දන්නවා උනාට කවුරු හරි කියලා පෙන්නලා දුන්නේ නැත්තම් සමහර ළමයි දන්නෙවත් නෑ යෝනි මාර්ගය කියලා එකත් තියෙනවා කියලාවත්.
ඒ වගේම ගර්භාශයක් තියෙන්නේ ගෑනු අයට විතරක් නිසා යෝනි මාර්ගයක් තියෙන්නෙත් ගෑණු අයට විතරයි.
පිරිමි අයට තියෙන්නේ මූත්‍රා මාර්ගයකුයි ගුද මාර්ගයකුයි විතරයි. එයාලට ගර්භාශයක් නැති නිසා යෝනි මාර්ගයකුත් නෑ.
ඉතින් ආයෙත් කිවුවොත් බබා එළියට එන්නේ ඔන්න ඔය යෝනි මාර්ගය දිගේ.
මතකද මම කිවුවා බබා ටික ටික ලොකු වෙනකොට එයාගේ ඔලුව පහල පැත්තට හැරෙනවා කියලා. අන්න එහෙම වෙන්නේ එයාට යෝනි මාර්ගය දිගේ එළියට එන්න පහසු වෙන්න.
අපි එයා එළියට එන හැටි ඊලඟ දවසේ කතා කරමු.
දැන් හැමෝම ගෙවල්වලට යන්න.
වෛද්‍ය නුවන් තොටවත්ත
MBBS, MSc (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)