ළමායි.. ඔන්න අපි අද පිරිමි අය ගේ ප්‍රජනක පද්ධතිය ගැන තමයි ඉගෙනගන්න යන්නේ. ගැහැණු අයගේ වගේම පුරුෂ ප්‍රජනක පද්ධතියෙත් බාහිරින් පෙනෙන කොටස් වගේම ඇඟ ඇතුලේ ඒ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන කොටස් තියෙනවා.
පිරිමි අයගේ බාහිරින් පේන ලිංගික අවයවය තමයි පුරුෂ ලිංගය. පිරිමි ළමයින්ගේ චූවා. ඔයාලට මතකද ගැහැනු අයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ මූත්‍රා මාර්ගයක් වෙනමයි යෝනි මාර්ගයක් වෙනමයි තිබුණා. හැබැයි පිරිමි අයගේ මූත්‍රා මාර්ගය තියෙන්නෙත් ප්‍රජනක අවයවය වන පුරුෂ ලිංගය ඇතුලේ ම තමයි. මේ පුරුෂ ලිංගයට කියන තවත් නමක් තමයි ශිශ්ණය කියලා කියන්නේ.
පුරුෂ ලිංගයට යටින් තව පොඩි මල්ලක් වගේ කොටසක් තියෙනවා. ඒ කොටසට කියන්නේ වෘශණ කෝශ කියලා. ඔයාලට මතකද ගැහැණු අයගේ ඩිම්බ තිබුණේ ඩිම්බ කෝශ ඇතුලේ. ඒ වගේම තමයි පිරිමි අයගේ වෘශණ තියෙන්නේ වෘශණ කෝශ ඇතුලේ. පුරුෂ ප්‍රජනක පද්ධතියේ වෘශණ දෙකක් තියෙනවා. ඒ වෘශණ වල තමයි අපි කලින් දවසක ඉගෙනගත්ත ශුක්‍රාණු හැදෙන්නේ. ඒ කියන්නේ ශුක්‍රාණු නිපදවෙන්නේ. වෘශණ කෝශයක් අල්ලලා බැලුවොතින් අපිට වෘශණ කෝශය ඇතුලේ පොඩි ජිල් බෝලයක් වගේ අහුවෙන්නේ වෘශණය තමයි.
දැන් අපි පුරුෂ ලිංගය ගැන ටිකක් කතා කරමු. පුරුෂ ලිංගය එහෙමත් නැත්නම් ශිශ්ණය ඔයාලා පොඩි කාලෙ හරිම පොඩියි. ඔයාලට මතක නම් අපි ඉගෙනගත්තා ද්විතීක ලිංගික ලක්ෂණ පහල වෙනකොට, ඔයාලා වයසින් වැඩෙනකොට මේ පුරුෂ ලිංගයත් ටික ටික ලොකු වෙනවා. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝගෙම උස මහත එකිනෙකාට වඩා වෙනස් වගේම මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණයත් කෙනාගෙන් කෙනාට වෙනස්. පුරුෂ ලිංගයක් මේ තරම් දිගක් තියෙන්න ඕන කියලා දෙයක් නෑ.
පුරුෂ ලිංගයේ ඉස්සරහ කෙලවර හමක් වගේ දෙයකින් වැහිලයි තියෙන්නේ. මෙන්න මේ කොටසට කියන්නේ පෙර සම කියලා. වයස අවුරුදු තුනක් විතර වෙනකොට මේ පෙර සම පස්සට අදින්න පලුවන්.
ඉතින් පිරිමි ළමයි දැනගන්න ඕන දෙයක් තමයි හැමදාම මේ පෙරසම පස්සට ඇදලා ශිෂ්ණයේ ඉස්සරහා කොටස හොඳින් පිරිසිදු කරන්න ඕන කියන එක. එහෙම නැති වුණොත් එතන විසබීජ එකතු වෙන්න පුලුවන් වගේම ඒ නිසා ලෙඩ හැදෙන්න පුලුවන්.
ඔන්න ඊට පස්සෙ අපි ශිෂ්ණයේ ඉතිරි කොටස් ගැන ඉගෙන ගන්නවා. ශිශ්ණය කියන්නේ බටයක් වගේ අවයවයක් නේ. ශිෂ්ණයෙන් කෙරෙන මූලික වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි මූත්‍රාශයේ තියෙන මූත්‍රා, මූත්‍රා මාර්ගය දිගේ එළියට ගේන එක, ඒ කියන්නේ මූත්‍රා පිට කරන එක.
අනික් කාරණය තමයි ලිංගික එකතුවීමකදී, ශුක්‍රාණු යෝනි මාර්ගය ඇතුලට අරන් යන එක. ලිංගිකව එකතු වෙනවා කියන්නේ මොකද්ද කියලා දැන් ඔයාලා දන්නවා නේ.
එහෙම ශුක්‍රාණු යෝනි මාර්ගය ඇතුළට ගෙනියන්න නම් ශිෂ්ණය, ඒ කියන්නේ පුරුෂ ලිංගය ගැහැණු කෙනාගේ යෝනි මාර්ගය ඇතුලට ඇතුල් කරන්න වෙනවා, එහෙම කරන්න නම් පුරුෂ ලිංගය හයිය බටයක් වගේ වෙන්න ඕන. හැබැයි සාමාන්‍ය වෙලාවට පුරුෂ ලිංගයක් එහෙම හයිය බටයක් වගේ නෙවෙයි. මෘදු ස්පන්ජ් එකක් වගේ තමයි තියෙන්නේ.
දැන් ඔයාලට තේරෙන්න ඕන පුරුෂ ලිංගයට තමන්ට උවමනා වෙලාවට හයිය බටයක් වගේ වෙන්නත්, අනික් වෙලාවට මෘදු ස්පන්ජ් එකක් වගේ වෙන්නත් පුලුවන් කියලා. ඒත් එහෙම වෙන්නේ කොහොමද? අපේ ඇඟේ අනික් අවයව එහෙම නෑ. මෘදුයි නම් මෘදුයි. හයියයි නම් හයියයි. අපි බලමු පුරුෂ ලිංගයට විතරක් එහෙම වෙනස් වෙන්න පුලුවන් වෙලා තියෙන්නේ කොහොමද කියලා.
පුරුෂ ලිංගය ඇතුලේ තියෙන්වා ස්පන්ජ් වගේ බට තුනක්. උවමනා වෙලාවට මෙන්න මේ බට ඇතුලට ලේ පිරෙන්න පටන් ගන්නවා.
ඔයාලා අයිස් පැකට් කාලා තියෙනවා නේද? අයිස් පැකට් එක ඇතුලේ වතුර පිරිලා තියෙද්දී ඒක හයියට තියෙනවා. හැබැයි වතුර ටික අයින් කළාම අයිස් පැකට් එක හයිය නෑ. අන්න ඒ විදිහටම තමයි පුරුෂ ලිංගයත් මේ විදිහට එක වෙලාවකට හයියටත් තව වෙලාවකට මෘදුවත් තියෙන්නේ. එහෙම වෙන්න ඕන පණිවිඩය ලබා දෙන්නේ අපේ ස්නායු පද්ධතියෙන්.
එහෙම පුරුෂ ලිංගය හයිය බටයක් වගේ වෙනවාට අපි කියන්නේ ලිංගය ප්‍රාණවත් වෙනවා කියලා.
ඔන්න අපි පුරුෂ ප්‍රජනක පද්ධතියේ බාහිර කොටස් ගැන කතා කලා. ඊලඟ දවසේ අපි පුරුෂ ප්‍රජනක පද්ධතියේ අභ්‍යන්තර කොටස් ගැන කතා කරමු.
හරි නේද?
හරි ටීචර්.