Home Features දහසයවෙනි බදාදා

දහසයවෙනි බදාදා

by Rashi

ළමයි .. අපි පාඩම පටන් ගමු ද ?
හැමෝම ඇවිල්ලා නේද ?
සමන්ති නෑ ටීචර්
ඇයි සමන්තිට මොනවා වෙලා ද ?
ආ සමන්ති ජම්බු ගහෙන් වැටිලා ටීචර් ?
කවුද එහෙම කිවුවෙ ?
ලොකු පන්තියක අක්කා කෙනෙක් කිවුවේ ?
ඉතින් සමන්තිට තුවාල වෙලා කියලා කිවුවා ද ?
එහෙම කිවුවේ නෑ ටීචර්.
හ්ම්ම්..  ඒ අක්කා ඔයාලට කියලා තියෙන්නේ සමන්ති ඇත්තටම ජම්බු ගහෙන් වැටිලා කියන එක නෙවෙයි. වෙන කතාවක්.
හරි අපි අද ඒ ගැන ඉගෙන ගමු.
ඔයාලට මතකද අපි ඉගෙන ගත්තා ගැහැණු ලමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් ටික ටික වයසෙන් වැඩෙනකොට එයලගේ ද්විතීක ලිංගික ලක්ෂණ පහල වෙන්න පටන් ගන්නවා කියලා.
ඒ කියන්නේ ගැහැණු ළමයෙක් නම් ගර්භනී වෙන්න, දරුවෙක් බිහි කරන්න වගේම ඒ දරුවා ව පෝෂණය කරන්න ශරීරය සූදානම් වෙනවා කියන එක.
පිරිමි ළමයෙක් නම් ගැහැණු කෙනෙක් ව ගර්භනී කරන්න තමන්ගේ ඇඟේ ශුක්‍රාණු නිපදවන්නත්, ඒ ශුක්‍රාණු ගැහැණු කෙනෙකුගේ ශරීරයට ඇතුල් කරන්නත් සූදානම් වෙනවා කියන එක.
ඔන්න ඔහොම ටික ටික ද්විතීක ලිංගික ලක්ෂණ පහල වෙලා එක වෙලාවක ගැහැණු පිරිමි ළමයි වර්ග දෙකටම වැඩිවියට පත් වෙනවා කියලා දෙයක් වෙනවා.
ඒ කියන්නේ ගැහැණු ළමයෙකු නම් ගර්භනී වෙන්න පුලු‍වන් තත්ත්වයට පත් වෙනවා. පිරිමි ළමයෙක් නම් ශුක්‍රාණු නිපදවලා ඒවා පිටකරන්න, ඒ කියන්නේ ගැහැණු කෙනෙක් ව ගර්භණීභාවයට පත් කරන්න පුලු‍වන් තත්ත්වයට පත් වෙනවා.
ඔන්න එහෙනම් පළවෙනියටම මතක තියාගන්න ඕන දේ තමයි ගැහැණු ළමයි, පිරිමි ළමයි කියලා වෙනසක් නෑ ඔය හැමෝම වැඩිවියට පත් වෙනවා.
ඔයාලට මතක ඇති අපි ඉගෙන ගත්තා ගැහැණු ළමයෙක් ගර්භණී වෙන්න නම් එයා එයාගේ ඩිම්බකෝශ වලින් ඩිම්බයක් පිට කරන්න ඕන. ඒ ඩිම්බය ගර්භාශය ඇතුලේදී පිරිමි කෙනෙක්ගේ ශුක්‍රාණුවක් එක්ක එකතු වෙන්න ඕන කියලා.
එහෙම නම් ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වෙනවා කියලා කියන්නේ එයාගේ ඩිම්බකෝශ වලින් පළවෙනි වතාවට ඩිම්බයක් පිටවෙන එකට. ඊට පස්සෙ මාසෙකට සැරයක් එයාගෙ ඩිම්බ කෝශ වලින් ඩිම්බයක් පිටවෙනවා. ඒ ගැන අපි පස්සෙ කතා කරමු.
පිරිමි ළමයෙක් වැඩිවියට පත් වෙනවා කියන්නේ එයාගේ වෘශණකෝශවල ශුක්‍රාණු නිපදවන්න පටන් අරගෙන පළවෙනි වතාවට එයා එයාගේ පුරුෂ ලිංගයෙන් ශුක්‍ර තරලය පිටකරන දවසට.
සමහර වෙලාවට මුල් කාලෙදි මෙන්න මේ ශුක්‍ර තරලය පිටවෙන එක නින්දෙදි වුණත් වෙන්න පුලු‍වන්. ශුක්‍ර තරලය කියන්නේ සුදු පාට ටිකක් උකු දියරයක් වගේ දෙයක්. ඔයාලට මතකයි නේ අපි ශුක්‍රාණු නිපදවන හැටි, ඒවා ගබඩා කරන හැටි, ශුක්‍රාණු ශුක්‍ර තරලය බවට පත් වෙන හැටි ඉගෙන ගත්තා. ඔන්න ඉතින් මේ වයසෙදි සමහර දවස් වලට රෑ නින්දෙන් නොදැනීම ශුක්‍ර තරලය පිටවෙන්න පුලු‍වන්. උදේ ඇහැරෙන කොට ඇඳුම්වල ඇඳ ඇතිරිලි වල සුදුපාට දියරයක් ගෑවිලා තිබ්බොත් ඒකට බය වෙන්න ඕනෙ නෑ. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ඔයාලා වැඩිවියට පත්වෙලා කියන එක.
හැබැයි පිරිමි ළමයි වැඩිවියට පත්වෙනවට වඩා ගැහැණු ළමයි වැඩිවියට පත්වෙනවා කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. පිරිමි ලමයින්ගේ ශුක්‍ර තරළය පිටවෙන එක අපිට බලාගන්න පුලු‍වන් වුණාට ගැහැණු ළමයින්ගේ ඩිම්බ පිටවෙන එක අපිට දැනෙන්නේ වත් පේන්නේ වත් නෑ.
එතකොට අපි කොහොමද ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වුණා කියලා දැනගන්නේ ?
ගැහැණු ළමයෙක් ඩිම්බ පිටකරන්න පටන්ගන්නවත් එක්කම එයාගේ ඇඟේ තවත් ලොකු වෙනස්කමක් වෙනවා. ඩිම්බ පිටකරන්න පටන් ගන්නවත් එක්කම, එහෙමත් නැත්නම් ඩිම්බ පිට කරන්න පටන් අරගෙන ටික දවසකින් එයාගේ ආර්තව චක්‍රය පටන් ගන්නවා.
හරි හරි දැන් එකපාරටම අහන්න එපා ආර්තව චක්‍රය කියන්නේ මොකද්ද කියලා. ඒ ගැන අපි වෙන දවසක හොඳින් ම ඉගෙනගන්නවා.
ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වුණාට පස්සෙ මාසයකට විතර සැරයක් දවස් තුන හතරක් එයාගේ යෝනි මාර්ගයෙන් ලේ පිට වෙලා යනවා. මේකට කියන්නේ ආර්තවය කියලා. සාමාන්‍ය කතාබහේදී ඔසප් වෙනවා, මෙන්සස් හැදෙනවා, පීරියඩ්ස් හැදෙනවා කියන්නෙත් මේකටම තමයි. ඉතින් මෙන්න මේ ආර්තවය එහෙමත් නැත්නම් ඔසප් වෙන එක අපිට පේන නිසා ගැහැනු ළමයෙක් වැඩිවියට පත්වෙලා, ඒ කියන්නේ එයා ඩිම්බ මෝචනය කරන්න පටන් අරන් කියලා අපිට දැනගන්න පුලු‍වන් පළවෙනි වතාවට එයාට ආර්තවය සිද්ධ වුණාම තමයි. ඒ කියන්නේ පළවෙනි වතාවට එයාගේ යෝණි මාර්ගයෙන් ලේ පිටවුනාම. අන්න එහෙම වුණාම අපි කියනවා ඒ ගැහැනු ළමයා වැඩිවියට පත්වෙලා කියලා. ඔය සමහරු ”‍මල්වර වුණා”‍, ”‍ලොකු ළමයෙක් වුණා”‍, ”‍ලොකු වුණා”‍කියන්නෙත් ඔය වැඩිවියට පත් වුණා කියන එකම තමයි.
ඉතින් කවදාහරි  දවසක  මෙතන ඉන්න ගෑනු ළමයෙක් දැක්කොත් එයාගේ යට ඇඳුම් වල ලේ ටිකක් ගෑවිලා තියෙනවා ඔයාලා ටිකක් වත් බය වෙන්න එපා. ඒ ලේ පැල්ලමෙන් කියන්නේ ඔයාලාගේ ආර්තව චක්‍රය පටන් අරන් කියන එක. ඒ කියන්නේ ඔයාලා ගේ ඩිම්බ කෝශ වලින් ඩිම්බ පිට කරන්න පටන් අරන් කියන එක. වෙන විදිහකින් කිවුවොත් ඔයාලා වැඩිවියට පත් වෙලා කියන එක. හරිද ?
ආ තව චුට්ටෙන් පොඩි දෙයක් අමතක වෙනවා. ඔයාලට මතකද අර ලොකු පන්තියක අක්කා කියපු ජම්බු ගහෙන් වැටෙන කතාව? කට්ටිය විහිලු‍වට ජම්බු ගහෙන් වැටෙනවා කියන්නෙත් ඔන්න ඔය වැඩි වියට පත්වෙන එකටම තමයි.
අම්මෝ හොඳටම වෙලා ගියා. දැන් හැමෝම ගෙවල් වලට යන්න.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications